රට තුළ පවතින ඉන්ධන හිඟය හමුවේ වෛද්‍යවරුන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයීමේ නියුතු වෘත්තිකයින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව ඒකාබද්ධ වෘත්තීය සමිති මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පවසයි. වෛද්‍යවරුන්ට නිවාඩු ලබා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, සේවයට වාර්තා කිරීමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට රජය වහාම පියවර ගත යුතු බව ඔහු අවධාරණය කරයි.පවතින QR කේත ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් පාලිත මහතා සඳහන් කළේ, මෙය ඉන්ධන කළමනාකරණයට වඩා බෙදාහැරීම සීමා කිරීම සඳහා යොදාගන්නා උපක්‍රමයක් බවයි. නිසි පරිදි ඉන්ධන තොග පිරවුම්හල් වෙත ගොස් නොමැති අතර, කෘතිම ඉන්ධන හිඟයක් මවාපාමින් ජනතාව යළිත් පෝලිම් යුගයකට තල්ලු කර ඇති බවට ඔහු චෝදනා කරයි.ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බවත්, මෙය ජනතාවගෙන් මුදල් ගසාකෑමේ උපක්‍රමයක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. ඉන්ධන මිල ඉහළ යාම මත පදනම්ව පොහොර නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිලද ඉහළ යා හැකි බැවින්, ඉදිරියේදී කෘෂිකාර්මික ක්ෂේත්රය තුළද බරපතල අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතී.නැව් සඳහා අධිභාර පැනවීමක් සිදුකළහොත් තත්ත්වය තවදුරටත් සංකීර්ණ විය හැකි බව පෙන්වා දෙන ඒකාබද්ධ වෘත්තීය සමිති, මෙම අර්බුදය විසඳීම සඳහා රජය වහාම විපක්ෂය සමඟ සාකච්ඡා කළ යුතු බව පවසයි. අර්බුදය තවදුරටත් උඩුදුවන්නට ඉඩ නොදී කඩිනම් විසඳුම් සෙවීම පාලකයින්ගේ වගකීමක් බව එම සංවිධානය සිහිපත් කර සිටියි.ඉදිරි දිනයන්හිදී විදුලිබල ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අවසන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. ජන පීඩිත තීරණ වෙනුවට සහනදායී ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමටද සූදානම් බව මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.


























