උපත් ආබාධ ජයගෙන නිරෝගී දරු පරපුරක් බිහිකිරීමට ජාතික මෙහෙයුමක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ මාධ්‍ය හමුවකදී, ලෝක උපත් ආබාධ දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ උපත් ආබාධ සහිත දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ එම තත්ත්වයන් වළක්වා ගැනීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය යොමු විය. “විවිධ උපත් ආබාධ සුවමඟට – එක්ව පිය නගමු” යන්න මෙවර තේමාව වී ඇත.​ප්‍රජා වෛද්‍ය විශේෂඥ ගයනි ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙන්නේ මවගේ කුස තුළදීම හඳුනාගත හැකි ව්‍යුහාත්මක හෝ කෘත්‍යමය විකෘතිතා උපත් ආබාධ ලෙස හැඳින්වෙන බවයි. වාර්ෂිකව මෙරට දරුවන් දහස් ගණනක් විවිධ ආබාධ සහිතව උපත ලබන අතර, ඉන් 650කට අධික පිරිසක් වසරක් සම්පූර්ණ වීමට පෙර ජීවිතක්ෂයට පත්වීම කණගාටුදායක තත්ත්වයකි.​විශේෂයෙන්ම මොළය හා හෘදය ආශ්‍රිත බරපතල විකෘතිතා මෙම මරණවලට ප්‍රධාන හේතුව වී ඇත. ශ්‍රී ලංකාවේ ලදරු මරණ අනුපාතය සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද, වර්තමානය වන විට උපත් ආබාධ යනු එම මරණ සඳහා බලපාන ප්‍රධානතම සාධකයක් බවට පත්ව තිබීම සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක්ව තිබේ.​විශේෂඥ වෛද්‍ය සංජීව ගොඩගත්තගේ මහතා අවධාරණය කරන්නේ උපත් ආබාධ යනු අසුභ ලකුණක් නොව, විද්‍යාත්මකව වළක්වා ගත හැකි සෞඛ්‍ය ගැටලුවක් බවයි. පෝෂණ ඌණතා, විවිධ ආසාදන සහ මවගේ පවතින රෝගී තත්ත්වයන් නිසි ලෙස කළමනාකරණය කරගැනීම හරහා නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකිරීමේ හැකියාව පවතී.​ගැබ් ගැනීමට අපේක්ෂා කරන මව්වරුන් එම අවස්ථාවට මාස තුනකට පෙර සිට සහ ගර්භනී සමයේ මුල් මාස කිහිපය තුළ “ෆෝලික අම්ලය” (Folic Acid) ලබාගැනීම අතිශය වැදගත් වේ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අචින්ත දිසානායක මහතා පවසන පරිදි, එමඟින් ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන (Neural Tube Defects) බරපතල ආබාධ රැසක් වළක්වා ගත හැක.කෙසේ වෙතත්, සැලසුම් නොකළ ගැබ් ගැනීම් හේතුවෙන් බොහෝ මව්වරුන්ට මෙම පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට නොහැකි වන බව වෛද්‍යවරු පෙන්වා දෙති. එබැවින් විවාහ වූ අලුත හෝ දරුවෙකු බලාපොරොත්තු වන අවස්ථාවේදීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවී උපදෙස් ලබාගැනීමෙන් සැලසුම්ගත ගැබ්ධාරණයක් කරා යොමු විය යුතුය.​ශ්‍රී ලංකාව දැනටමත් රුබෙල්ලා වැනි ආසාදන සාර්ථකව පාලනය කර ඇති රටකි. මීට අමතරව ගර්භනී වීමට පෙර මවගේ දියවැඩියාව සහ ශරීරයේ බර නිසි මට්ටමක පවත්වා ගැනීම, උපතේදී සිදුවන සංකූලතා අවම කිරීමට සෘජුවම දායක වේ. මේ සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් සමඟ නිරන්තර සම්බන්ධතාවය අත්‍යවශ්‍ය වේ.​ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය රුවන්ගි දිසානායක මහත්මිය පවසන්නේ, වර්තමානයේ රෝහල් පද්ධතිය තුළ දරුවෙකු උපන් විගසම විවිධ පරීක්ෂණ රැසක් සිදුකරන බවයි. හෝර්මෝන ඌණතා, ශ්‍රවණ හා පෙනීමේ ගැටලු මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් මොළයට සිදුවිය හැකි ස්ථිර හානි වළක්වා ගැනීමට රජයේ රෝහල් සන්නද්ධව සිටී.​හෘදයාබාධ, තැලසීමියාව සහ පාදවල විකෘතිතා වැනි තත්ත්වයන් සඳහා අවශ්‍ය සැත්කම් සහ චිකිත්සක සේවාවන් රජයේ රෝහල් මඟින් නොමිලේ ලබාදේ. ළමා රෝග විශේෂඥයන්ට අමතරව, කථන හා භාෂා චිකිත්සකයන් සහ මනෝවිද්‍යාඥයන් ඇතුළු කණ්ඩායම් මේ සඳහා කැපවී සිටින අතර, බොහෝ උපත් ආබාධ නිසි කලට ප්‍රතිකාර කිරීමෙන් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය.​අවසාන වශයෙන්, දරුවෙකු තුළ යම් අසාමාන්‍ය ලක්ෂණයක් දුටු සැණින් බිය නොවී වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දෙමාපියන් ක්‍රියා කළ යුතුය. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේදී ද අවධාරණය කෙරෙන පරිදි, මව සහ පියා මත්ද්‍රව්‍යවලින් වැළකී සිටීමද නිරෝගී දරු පරපුරක් උදෙසා කරන ආයෝජනයක් බව සෞඛ්‍ය අංශ මතක් කර දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *