ලෝක උපත් ආබාධිත දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ විශේෂ දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. උපත් ආබාධ සහිතව උපදින සෑම දරුවෙකුම මාරාන්තික තත්වයක නොපවතින අතර, නිසි වෛද්‍ය මැදිහත්වීම් හරහා ඔවුන් පූර්ණ නිරෝගී පුද්ගලයින් ලෙස සමාජගත කළ හැකි බව විශේෂඥයින් අවධාරණය කරයි. විශේෂයෙන්ම තොල් හා තලු විකෘතිතා වැනි තත්වයන් 100% ක්ම ශල්‍යකර්ම මගින් සුවපත් කළ හැකි බැවින්, උපත් ආබාධ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව මෙහිදී සාකච්ඡා විය.ප්‍රජා සෞඛ්‍ය සහ ළමා රෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ නිරෝගී දරුවෙකුගේ උපත සඳහා මවගේ පූර්ව සූදානම අතිශය වැදගත් බවයි. මෙරට කාන්තාවන්ගෙන් 40% ක් පමණ නිසි සෞඛ්‍ය මට්ටමක නොසිටීම දරුවන්ගේ උපත් ආබාධ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයකි. දියවැඩියාව වැනි රෝගී තත්වයන් පාලනය කිරීම, ගැබ් ගැනීමට පෙර අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සහ රුබෙල්ලා වැනි රෝග සඳහා එන්නත් ලබා ගැනීම මගින් දරුවා කුස තුළ සිටියදීම සිදුවිය හැකි බොහෝ සංකූලතා අවම කර ගැනීමට හැකියාව පවතී.ජානමය බලපෑම් මත ඇතිවන ටැලසීමියාව වැනි රෝගී තත්වයන් වැළැක්වීම සඳහා විවාහයට පෙර තමන් වාහකයෙකුදැයි පරීක්ෂා කර ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් ලේ නෑකම් ඇති අය අතර සිදුවන විවාහයන් නිසා මෙවැනි ජානමය ආබාධ සහිත දරුවන් බිහිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. අද වන විට මෙරට ළදරු මරණ අනුපාතිකය 1000 කට 5 ක් දක්වා අඩු වී ඇත්තේ මව්වරුන්ගේ සාක්ෂරතාව සහ සෞඛ්‍ය සේවාවේ දියුණුව නිසා වුවද, වළක්වා ගත හැකි උපත් ආබාධ අවම කිරීමට තවදුරටත් පුළුල් සමාජ දැනුවත්භාවයක් අවශ්‍ය වේ.විකලාංග ආබාධ අතර ප්‍රධාන තැනක් ගන්නා “මුගුරු පාද” (Clubfoot) තත්වය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණි. “Miracle Feet” ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික දායකත්වය ඇතිව ක්‍රියාත්මක වන ජාතික ව්‍යාපෘතිය හරහා, මෙවැනි දරුවන් වසර 5 ක් වැනි කාලයක් තුළ සාමාන්‍ය දරුවෙකු මෙන් ඇවිදිය හැකි තත්වයට පත් කිරීමට අවශ්‍ය පහසුකම් දිවයින පුරා රෝහල්වල ස්ථාපිත කර ඇත. ප්ලාස්ටර් ප්‍රතිකාරයේ සිට විශේෂිත පාවහන් දක්වා වූ මෙම ක්‍රියාවලිය මගින් උපත් ආබාධිත දරුවෙකු ලෝකයට බරක් නොවන ලෙස සුවපත් කිරීමේ හැකියාව පවතී.සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විවිධ වෛද්‍ය විද්‍යායතන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළේ මූලික ඉලක්කය වන්නේ උපතින්ම ලැබෙන ආබාධිත තත්වයන් හේතුවෙන් දරුවන් හුදෙකලා වීම වැළැක්වීමයි. දරුවෙකු බිහි වූ වහාම රෝගී තත්වයන් හඳුනාගෙන අවශ්‍ය ශල්‍යකර්ම හෝ භෞතචිකිත්සක ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. මේ සඳහා දෙමාපියන් අධෛර්යමත් නොවී රජයේ රෝහල් පද්ධතිය මගින් ලබා දෙන නොමිලේ සෞඛ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසයි.


























