ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව, උසස් පොලිස් නිලධාරීන් අට දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරුන් (DIG) දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) පස්දෙනෙකු සහ එක් පොලිස් අධිකාරීවරයෙකු (SP) ඇතුළත් වේ. ඒ අනුව, ගාල්ල කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඊ.එම්.ජී.ජේ. සේරම් මහතා බඳවා ගැනීම් හා පුහුණු කොට්ඨාසය වෙත මාරු කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති එච්.සී.ඒ. පුෂ්පකුමාර මහතා ගාල්ල කොට්ඨාසය භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.කොට්ඨාස මට්ටමින් සිදුවූ මාරුවීම් යටතේ, ගම්පොළ කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා කොළඹ උතුර කොට්ඨාසය වෙතද, මොනරාගල කොට්ඨාසයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්. ගුණවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙතද මාරු කර තිබේ. කොළඹ උතුර කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා ගුවන්තොටුපළ විශේෂ පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර, වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒ. උදය කුමාර මහතා කළුතර කොට්ඨාසය භාර නිලධාරියා ලෙස පත් කර ඇත.මීට අමතරව, පොලිස් මූලස්ථානයේ මූලස්ථාන පාලන අතිරේක අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.බී. වික්‍රමසිංහ මහතා මොනරාගල කොට්ඨාසය භාර නිලධාරියා ලෙසත්, මහනුවර සහකාර පොලිස් අධිකාරී ලෙස සේවය කළ පී.ඩී. ඉලංගකෝන් මහතා ගම්පොළ කොට්ඨාසය වෙතත් මාරු කර යවා තිබේ.


























