එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සාමාජිකත්වයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පසුගිය දෙසැම්බර් 11 වනදා විශේෂ වැඩසටහන් මාලාවක් පවත්වන ලදී. ජාත්‍යන්තර සහයෝගීතාව සහ සියලු රටවල් ඇතුළත් වන ගෝලීය සබඳතා වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම මෙහිදී මැනවින් පිළිබිඹු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ජයන්ත ජයසූරිය මහතාගේ නායකත්වයෙන් පැවති මෙම සැමරුමට, ශ්‍රී ලංකාව සමඟ එකම වසරකදී සාමාජිකත්වය ලැබූ ඇල්බේනියාව, ඕස්ට්‍රියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ නේපාලය ඇතුළු තවත් රටවල් 15ක තානාපතිවරුන් සහ දේශපාලන විශ්ලේෂකයින් සහභාගී විය. එක්සත් ජාතීන්ගේ සජීවී වෙබ් රූපවාහිනිය (UN Live WebTV) ඔස්සේ විකාශය වූ මෙම උසස් මට්ටමේ සාකච්ඡාවේදී, බහුපාර්ශ්වික පද්ධතියේ අනාගතය සහ අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී සියලු සාමාජික රටවල සමානත්වය සංකේතවත් කරමින් සමරු මුද්දරයක් ද එළිදක්වන ලදී.මෙහිදී අදහස් දැක්වූ තානාපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට වසර 80ක් සපිරෙන මේ මොහොතේ එහි මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් වඩාත් සාධාරණ සහ සමෘද්ධිමත් ලෝකයක් වෙනුවෙන් මෙම අන්තර් රාජ්‍ය සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි. මීට පෙර, 2025 ජුනි මාසයේදී ඉතාලි දූත මණ්ඩලය සහ විකිමීඩියා (Wiki Media) ආයතනය සමඟ එක්ව තොරතුරු වල විශ්වාසනීයත්වය තහවුරු කිරීමේ වැඩසටහනක් ද, ඔක්තෝබර් මාසයේදී එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ සේවය කළ සහ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ඇගයීමේ විශේෂ හමුවක් ද පවත්වන ලදී. දශක ගණනාවක් පුරා රාජ්‍ය තාන්ත්‍රිකයින්, නීතිවේදීන් සහ සාම සාධක භටයන් ලෙස ශ්‍රී ලාංකිකයන් කළ මෙහෙවර අගය කළ තානාපතිවරයා, ඉදිරි දශක කිහිපය තුළද ගෝලීය ඉලක්ක සපුරා ගැනීම සඳහා අනෙකුත් සාමාජික රටවල් සමඟ ශ්‍රී ලංකාව සහයෝගයෙන් කටයුතු කරන බව යළිත් තහවුරු කළේය.

























