එන්නත් මාෆියාවට එරෙහිව සජිත්ගෙන් දැඩි විරෝධයක්: කාන්තාවන් දෙදෙනෙකුගේ මරණ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

අපවිත්‍ර වූ එන්නත් ලබාගැනීම හේතුවෙන් සිදුවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඒ පිළිබඳව වගවීම සහ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. මහනුවර රෝහලේදී සිදුකළ මූලික පරීක්ෂණවලින් මෙම එන්නත්වල බැක්ටීරියා පවතින බව අනාවරණය වී ඇති බවත්, ඒ හේතුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙරටට ආනයනය කළ එන්නත් මාත්‍රා 270,000ක් රෝහල් පද්ධතියෙන් ඉවත් කර ගත් බවත් ඔහු අනාවරණය කළේය. මෙම එන්නත් හදිසි මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය යටතේ ගෙන්වූයේද, නිසි ප්‍රමිතියෙන් යුතු පරීක්ෂාවන් සිදුකළේද සහ මෙහි සම්පූර්ණ සත්‍යය රජය මහජනයාගෙන් සඟවන්නේ මන්දැයි ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.​එන්නත් පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණය පැහැදිලි කරන ලෙසත්, වෛද්‍ය නිලධාරීන් මතු කර ඇති ගැටලුවලට පිළිතුරු ලබා දෙන ලෙසත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාව තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිගැනීම සහිත රසායනාගාර පහසුකම් පවතින්නේද යන්නත්, එවැනි පහසුකම් ඇති කිරීමට පසුගිය අයවැය ලේඛන හරහා ගත් පියවර මොනවාද යන්නත් රජය හෙළි කළ යුතු බව ඔහු අවධාරණය කළේය. සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පිළිගන්නා බවත්, මීට පෙර ඖෂධ වංචා හෙළි වූ අවස්ථාවලදී පවා තම පක්ෂය විශ්වාසභංග යෝජනා ගෙන එමින් ඊට එරෙහිව පෙනී සිටි බවත් ඔහු සිහිපත් කළේය.​මෙම අර්බුදයට එරෙහිව හඬ නැගූ වෛද්‍ය චමල් සංජීව සහ කාවින්ද ජයවර්ධන යන මහත්වරුන්ගේ ක්‍රියාකලාපය අගය කළ විපක්ෂ නායකවරයා, ඔවුන්ගේ ස්ථාවරය පක්ෂයේ ස්ථාවරය නොවන බව පෙන්වීමට ඇතැමුන් උත්සාහ කරන බවටද චෝදනා කළේය. ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන විට ඇතැම් පිරිස් ව්‍යාජ පුවත් පතුරුවමින් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරන බව පවසන ප්‍රේමදාස මහතා, මිලියන 22ක ජනතාවගේ සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කිරීම මූලික මානව අයිතිවාසිකමක් බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය සැමවිටම පෙනී සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

What's your reaction?

Related Posts

1 of 902

Leave A Reply

Your email address will not be published. Required fields are marked *