ඔන්ලයින් කැවුමක් රුපියල් 120යි

අලුත් අවුරුදු උත්සවයේදී රසකැවිලි මේසයට හිමිවන්නේ විශේෂ තැනකි.

නමුත්, පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අන්තර්ජාලය ඔස්සේ අවුරුදු රසකැවිලි සඳහා ඇනවුම් ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟම එම රසකැවිලිවල මිල ගණන්ද ඉහළ යමින් පවතින බව අපගේ සමීක්ෂණයකදී හෙළි විය.

ඒ අනුව, අවුරුදු මේසයේ ප්‍රධාන අංගයක් වන කැවුම්, අන්තර්ජාලය හරහා රුපියල් 100ත් 120ත් අතර මිලකට අලෙවි වෙයි.

ඊට අමතරව, ආස්මි රුපියල් 170කට අලෙවි වන අතර, පැණි වලල්ලක් රුපියල් 100කටත්, කොකිස් රුපියල් 40ත් 60ත් අතර මිලකටත් අන්තර්ජාලය හරහා ලබා ගත හැකිය.

ඇතැම් සුපිරි වෙළඳසැල් සියලු රසකැවිලි ඇතුළත් පාර්සල් සකසා රුපියල් 2000ත් 5000ත් අතර මිලකට අලෙවි කරන බව වාර්තා වේ.

කෙසේ වුවත්, අන්තර්ජාලය හරහා රසකැවිලිවල මිල ඉහළ ගියද, රසකැවිලි නිෂ්පාදකයන් කැවුමක් රුපියල් 50ත් 60ත් අතර මිලකට අලෙවි කරති. මෙම තත්ත්වය යටතේ, ඇතැම් ආර්ථික විශ්ලේෂණවලට අනුව, පසුගිය වසරට සාපේක්ෂව මෙවර අවුරුදු කැවිලි මේසයක් සැකසීමේ පිරිවැය සියයට 7කින් පමණ ඉහළ ගොස් ඇත.

මේ අතර, අලුත් අවුරුද්දට තවත් දින 4ක් ඉතිරිව තිබියදී, ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ විය. ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පැවසුවේ, අතිරේක බස් රථ 500ක් යොදවා ඇති බවයි.

එසේම, අතිරේක දුම්රිය ගමන්වාර 40ක් ක්‍රියාත්මක වන අතර, කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුරය සහ ගාල්ල යන ගමනාන්තවලට මෙම සේවාවන් පවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 35,000ක් යොදවා ඇත. මේ අතර, අප්‍රේල් 15 රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යවල පැතිර යන පුවත අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 682

Leave A Reply

Your email address will not be published. Required fields are marked *