ඔබේ පැමිණිල්ල කෙළින්ම පොලිස්පතිට: “Tell IGP” සේවාව 2026 දී අලුත් වෙයි!

ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමේ යාන්ත්‍රණය වන “Tell IGP” ව්‍යාපෘතිය ප්‍රතිව්‍යුහගත කර 2026 වසරේදී තවදුරටත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව නිවේදනය කර ඇත. මෙම සේවාව මගින් ඕනෑම සිදුවීමක් හෝ කරුණක් සම්බන්ධයෙන් සෘජුවම පොලිස්පතිවරයා වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට මහජනතාවට මාර්ගගත (Online) පහසුකම් සලසා දී තිබේ. පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙරට මෙන්ම විදේශගත පුද්ගලයන්ට ද සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවලින් මෙම පද්ධතිය හරහා සිය පැමිණිලි යොමු කළ හැකිය.​සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ දේශීය හා විදේශීය පුද්ගලයන් පිළිබඳව තොරතුරු සෘජුවම පොලිස්පතිවරයා වෙත වාර්තා කිරීමට මෙමගින් අවස්ථාව ලැබේ. මීට අමතරව සාමාන්‍ය වැරදි, රථවාහන නීති උල්ලංඝනය කිරීම්, මහජන පීඩා සහ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි ද මෙයට ඇතුළත් කළ හැකිය. පැමිණිල්ලක් ලැබුණු වහාම අදාළ අංශ මගින් අදාළ පොලිස් ස්ථානය දැනුවත් කරන අතර විමර්ශන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී පියවර ගනු ඇත. ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත්, මෙම සේවාව ඔස්සේම ඒ පිළිබඳව යළිත් පොලිස්පතිවරයා දැනුවත් කිරීමට පැමිණිලිකරුට හැකියාව පවතී.​මහජනතාවට ශ්‍රී ලංකා පොලිසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk හි ‘e-services’ පෝටලය හරහා හෝ https://telligp.police.lk යන විශේෂිත වෙබ් ලිපිනය ඔස්සේ මෙම සේවාවට පිවිසිය හැකිය. එසේම [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ද පැමිණිලි යොමු කිරීමේ හැකියාව පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,029

Leave A Reply

Your email address will not be published. Required fields are marked *