කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණි කටාර් එයාර්වේස් ගුවන් යානයක බෝම්බ පවතින බවට ලද විද්‍යුත් තැපැල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපළ බලධාරීන් දැඩි ආරක්ෂක පියවරක් අනුගමනය කරමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී. කටාර් එයාර්වේස් ආයතනයට අයත් QR-664 දරන බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය මගීන් 245 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සමඟ පෙරවරු 8.27 ට කටුනායකට ගොඩබැස්සවූ අතර, ගුවන් යානය ගොඩබැසීමට පෙර එහි බෝම්බ ඇති බවට ගුවන් තොටුපළ කළමනාකරු වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම සෝදිසි කිරීම් සිදුකෙරිණි.ගොඩබැස්සවූ වහාම යානය නායකන්ද ප්‍රදේශයේ පිහිටි හුදකලා නැවතුම් අංගනයකට යොමු කළ ආරක්ෂක අංශ, එහි සිටි මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කරගනු ලැබීය. අනතුරුව ගුවන් තොටුපළ බෝම්බ නිශ්චය කිරීමේ අංශය සහ විශේෂ පුහුණුව ලත් නිල සුනඛයින් යොදා ගනිමින් සිදුකළ පුළුල් පරීක්ෂාවකින් පසු, යානය තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හෝ සැකකටයුතු ද්‍රව්‍යයක් නොමැති බව තහවුරු විය.ආරක්ෂක මෙහෙයුම හේතුවෙන් පෙරවරු 10.15 ට දෝහා බලා පිටත්වීමට නියමිතව තිබූ මෙම ගුවන් යානය ප්‍රමාද වූ අතර, පසුව පස්වරු 1.07 ට කටුනායකින් පිටත්ව ගියේය. මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙන්ම ගුවන් තොටුපළ මෙහෙයුම්වල සුරක්ෂිතතාව වෙනුවෙන් පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම සෝදිසි මෙහෙයුම සිදුකළ බව ගුවන් තොටුපළ බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කළහ.


























