ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සතු රුපියල් 1,344,400ක් වටිනා විදේශ මුදල් සහ රන් ආභරණ සොරාගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පොලිසිය සමත්ව තිබේ. මෙලෙස සොරකමට ලක්ව ඇත්තේ ඊශ්‍රායලයේ ළමා සංවර්ධන උපදේශකවරියක ලෙස සේවය කරන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකට අයත් දේපළයි. ඇය ඊයේ (ජනවාරි 13) පෙරවරුවේ අබුඩාබි සිට Fly Dubai ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති අතර, ගුවන් සේවිකාවකගේ උපදෙස් මත ඇය සිය අත්බෑගය අසුනට ඉහළින් වූ ගමන් මලු රඳවනයේ තබා තිබුණි.ගුවන් යානයෙන් බැස ටැක්සි රථයකට මුදල් ගෙවීමට සූදානම් වීමේදී සිය අත්බෑගයේ තිබූ ඇමරිකානු ඩොලර් 3,660ක්, යුරෝ 500ක් සහ රන් භාණ්ඩ තොගයක් අතුරුදහන් වී ඇති බව ඇය වටහාගෙන ඇත. වහාම ක්‍රියාත්මක වූ ඇය ගුවන් තොටුපළ පොලිසියට පැමිණිලි කළ අතර, ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාව අසල සැකකටයුතු ලෙස හැසිරුණු චීන ජාතිකයෙකු හඳුනා ගැනීමට පොලිසියට හැකි විය.පරීක්ෂණ අඛණ්ඩව සිදුකළ පොලිසිය, සැකකරු ගුවන් තොටුපළෙන් පිටව ගොස් කිඹුලාපිටිය ප්‍රදේශයේ චීන ජාතික කාන්තාවක විසින් පවත්වාගෙන යනු ලබන නවාතැන්පොළක සැඟව සිටියදී අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී 25 හැවිරිදි මෙම සැකකරු සොරකම් කරන ලද සියලුම විදේශ මුදල් සහ රන් ආභරණ ඔහු නිදා සිටි ඇඳේ කොට්ට උරය තුළ සඟවා තිබී ඇත. සැකකාර චීන ජාතිකයා අද (ජනවාරි 14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


























