නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් නවීන විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමඟ විදේශීය ජාතිකයන් නව දෙනෙකු අද (2) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණි. සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ඉන්දුනීසියානු ජාතික තරුණයන් පිරිසක් මෙලෙස රේගු නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, ඔවුන් අද අලුයම 12.50 ට පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට ළඟා වී තිබේ.සැකකරුවන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ සඟවා තිබූ නවීන මාදිලියේ පාවිච්චි කරන ලද ජංගම දුරකථන 70ක්, කුඩා ප්‍රමාණයේ පරිගණක (Mini Computers) 08ක් සහ ජංගම දුරකථන සිම් කාඩ්පත් 54ක් සොයා ගැනීමට නිලධාරීන් සමත් විය. මෙම සන්නිවේදන උපකරණ තොගය අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන මූල්‍ය වංචාවන් සහ විවිධ අපරාධ සඳහා මෙරට තුළදී යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවට සැක කෙරේ.අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ අංශ එක්ව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙරට ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක් විය හැකි මෙවැනි නීති විරෝධී උපකරණ ජාවාරම් මැඩලීම සඳහා ගුවන් තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව සහ පරීක්ෂාවන් තවදුරටත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.





















