කඩා වැටෙන ව්‍යවසායකත්වය ගොඩනැගීමට “පරාටේ නීතිය” වහා අහෝසි කරනු! – සජිත්ගෙන් රජයට බලපෑමක්

අධික ලෙස ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දැඩි අගාධයකට ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජාතික ආර්ථිකයට 52%ක දායකත්වයක් සපයන මෙම ක්ෂේත්‍රය, බලශක්ති පිරිවැය ඉහළ යාම හමුවේ නිෂ්පාදන හා සැපයුම් දාමයන් බිඳ වැටී අසරණ වී ඇති බවත්, මින් ලක්ෂ 45කට අධික පිරිසකගේ ජීවනෝපාය අවදානමට ලක්ව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ව්‍යවසායකයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව අවධාරණය කළේය.​ව්‍යාපාරිකයන් මුහුණ දී ඇති මෙම මරණීය තර්ජනයෙන් ඔවුන් මුදා ගැනීමට නම්, දැනට ක්‍රියාත්මක වන “පරාටේ නීතිය” (දේපළ වෙන්දේසි කිරීමේ බලය) වහාම නතර කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී රජයට අවධාරණය කළේය. 2019 වසරේ සිට මෙරට මුහුණ දුන් අර්බුද මාලාව හමුවේ අඩපණ වූ ව්‍යාපාර නැවත ඔසවා තැබීමට නම්, මහා භාණ්ඩාගාරයේ ඇති ප්‍රතිපාදන යොදා ගනිමින් විශේෂ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළක් වහාම හඳුන්වා දිය යුතු බව ඔහු පෙන්වා දෙයි.​රජය බදු දැල පුළුල් කිරීම හරහා ව්‍යවසායකයන් මත පටවා ඇති අධික බර හේතුවෙන් දේශීය කර්මාන්තකරුවා ලෝක වෙළඳපොළ තුළ අසාර්ථක වෙමින් පවතින බව ප්‍රේමදාස මහතා පැවසීය. විශේෂයෙන්ම SVAT ක්‍රමය අහෝසි වීම නිසා අපනයනකරුවන්ට ලැබුණු ශක්තිය අහිමි වී ඇති බවත්, බදු ප්‍රතිපූර්ණය සඳහා මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වීම නිසා ව්‍යාපාරිකයන්ගේ දෛනික මෙහෙයුම් පවා අඩාල වී ඇති බවත් ඔහු මෙහිදී විවේචනාත්මකව සඳහන් කළේය.​මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඇඟලුම් ඇතුළු කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ආයෝජන ප්‍රාග්ධනය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගලා යාමේ අවදානමක් මතුව ඇති බවට විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීය. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හමුවේ දේශීය ව්‍යවසායකයන්ට පාරිභෝගිකයා වෙත එම බර පැටවීමට නොහැකි වී ඇත්තේ වෙළඳපොළ තරඟකාරීත්වය හේතුවෙන් බවත්, මේ නිසා ව්‍යාපාර වැසී යාමේ තත්ත්වයක් උදාවී ඇති බවත් ඔහු පැවසීය.​එබැවින්, ව්‍යවසායකයන්ගේ ගැටලුවලට සැබෑ ලෙසම සවන් දී ඔවුන් වෙනුවෙන් විශේෂ “ආර්ථික සහන පැකේජයක්” කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කර නොගතහොත් රටේ සමස්ත නිෂ්පාදන ධාරිතාව බිඳ වැටී ගෘහස්ථ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටෙනු ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,065

Leave A Reply

Your email address will not be published. Required fields are marked *