ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන කනිෂ්ඨ ඩේවිස් කුසලාන ටෙනිස් තේරීම් තරගාවලියේදී සෞදි අරාබියට එරෙහිව විශිෂ්ට දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වට 3-0ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් විය. මෙහි පළමු ඒකල තරගයේදී ඇෂ්ලින් ද සිල්වා විසින් මහ්දි අල් ඉබ්රාහිම් ලකුණු 6/2ක් සහ 7/5ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. අනතුරුව පැවති දෙවන ඒකල තරගය තියුණු මුහුණුවරක් ගත් අතර, එහිදී මයූරන් කුබර්න් විසින් අහමඩ් බහා සරූජි ලකුණු 3/6, 6/4 සහ 7/5ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී මාවතට යොමු කළේය.තරගාවලියේ තීරණාත්මක යුගල තරගය සඳහා මයූරන් කුබර්න් සහ ඇෂ්ලින් ද සිල්වා එක් වූ අතර, ඔවුන් සෞදි අරාබියේ මන්දි අල් ඉබ්රාහිම් සහ සුහයිල් එල්ෆරූකි සමඟ තරග වැදුණි. එහි පළමු වටය ලකුණු 6/4ක් ලෙස ශ්‍රී ලංකාව ජයගෙන සිටියදී, දෙවන වටයේදී සෞදි ක්‍රීඩකයන් තරගයෙන් ඉවත් වීම හේතුවෙන් එම තරගයේ ජය ද නිතරගයෙන් ශ්‍රී ලංකාවට හිමි විය. මෙම සමස්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තුළ සිය ප්‍රබලත්වය මැනවින් ප්‍රදර්ශනය කිරීමට සමත්ව ඇත.අද දිනය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විවේක දිනයක් ලෙස වෙන් කර ඇති අතර, ඔවුන් සියලු දෙනාගේ අවධානය දැන් යොමුව ඇත්තේ එළඹෙන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත තීරණාත්මක අවසන් මහා තරගය කෙරෙහි ය. මෑත කාලීනව ශ්‍රී ලංකා කනිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයන් පෙන්වන මෙම ඉහළ දක්ෂතාවලින් පෙනී යන්නේ ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ද ඔවුන් ඉතා හොඳ සූදානමකින් පසුවන බවයි.
























