ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නව ගෞරවනීය කොන්සල්වරයා ලෙස ව්‍යාපාරික නලින් පෙරේරා මහතා පත් කර තිබේ. පෙබරවාරි 19 වන දින කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය විසින් නිල පත්වීම් ලිපිය ඒ මහතා වෙත භාර දෙන ලදී. සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු මෙන්ම පරිත්‍යාගශීලියෙකු ද වන නලින් පෙරේරා මහතා, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව අතර මෙන්ම බෞද්ධ සංගම්වල ද ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරන බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙහිදී අදහස් දැක්වූ මහ කොමසාරිස් යසෝජා ගුණසේකර මහත්මිය, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ වැදගත්කම අවධාරණය කළාය. නලින් පෙරේරා මහතා සතු පුළුල් ව්‍යාපාරික සබඳතා හරහා ශ්‍රී ලංකාවේ වෙළඳ, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට මහ කොමසාරිස් කාර්යාලයට විශාල සහයෝගයක් ලැබෙනු ඇතැයි ද ඇය විශ්වාසය පළ කළාය. නව තනතුරේ රාජකාරි භාරගත් නලින් පෙරේරා මහතා ප්‍රකාශ කළේ, ක්වීන්ස්ලන්තයේ වෙසෙන 20,000ක් පමණ වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත අවශ්‍ය කොන්සල් සේවාවන් සැපයීමට කැන්බරා හි මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව කැපවී ක්‍රියා කරන බවයි.

























