ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය!

2026 පෙබරවාරි 10 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වූ රැස්වීමකදී ‘ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී’ පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, නිශාන්ත ජයවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, නිමල් පලිහේන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. මෙම පනත මගින් මුදල් ලබාදීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීමටත්, පාරිභෝගික ආරක්ෂාව තහවුරු කිරීමටත් ‘ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය’ පිහිටුවීමට අපේක්ෂිත අතර, ඒ සමඟම 2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනු ඇත. 2024 වසරේ ඉදිරිපත් කළ මුල් කෙටුම්පතේ පැවති ව්‍යවස්ථාපිත නොගැලපීම්, පාර්ශවකරුවන් සමඟ කළ සාකච්ඡාවලින් පසු සංශෝධනය කර ඇති බව මෙහිදී අනාවරණය විය.​යෝජිත අධිකාරිය යටතේ බලපත්‍රයක් නොමැතිව කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබාදීමේ ව්‍යාපාර සිදුකිරීමට අවසර නොලැබෙන අතර, අන්තර්ජාලය හරහා සිදුකරන ණය ලබාදීම් (Online Lending) සඳහා ද බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය වේ. පාරිභෝගික ආරක්ෂාව මෙහි ප්‍රධාන අරමුණ වුවද, ඊ-වාණිජ්‍ය (e-commerce) ක්‍රියාකරුවන් වැනි ඇතැම් පාර්ශව මෙම පනතේ විෂය පථයට ඇතුළත් නොවේ. ප්‍රජා මූලික මූල්‍ය ආයතනවල සමාජ සවිබල ගැන්වීමේ භූමිකාව සහ ඔවුන්ට සහනදායී නියාමන ගාස්තු හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමු විය. එසේම, මෙම නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ‘නිතර අසන ප්‍රශ්න’ (FAQs) ඇතුළත් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට උපදෙස් ලබා දී තිබේ.​උපරිම පොලී අනුපාත තීරණය කිරීමේ බලය මෙම අධිකාරිය සතු වන අතර, එම බලතල ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල අනන්‍යතාව රැකෙන පරිදි භාවිත කළ යුතු බවට කාරක සභාව අවධාරණය කළේය. පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අයදුම්පත් සැකසීමේ බලතල පැවරීමටත්, ඒ සඳහා ශක්තිමත් තොරතුරු තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමටත් යෝජනා විය. මීට අමතරව, රේගු ආඥාපනත යටතේ වූ ගැසට් නිවේදනයක් සහ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිකුත් කළ නියෝග තුනක් සඳහා ද එම රැස්වීමේදී අනුමැතිය හිමි විය.

What's your reaction?

Related Posts

1 of 1,015

Leave A Reply

Your email address will not be published. Required fields are marked *