වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් මිල කෘතිමව ඉහළ නංවමින් පාරිභෝගිකයාගෙන් එක් කිලෝවකින් රුපියල් 100ත් 125ත් අතර අයුතු ලාභයක් ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා චෝදනා කරයි. අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, රුපියල් 230-240ත් අතර නිෂ්පාදන පිරිවැයක් සහිත කීරි සම්බා කිලෝවක් අද වන විට රුපියල් 400 දක්වා ඉහළ දමා ඇති බවයි. රජයට සම්බන්ධ ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරී බලය හමුවේ ගොවියාට නියමිත සහතික මිල පවා අහිමි කරමින් මෙම මිල විකෘතිය නිර්මාණය කර ඇති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.මෙම කෘතිම සහල් හිඟය නිර්මාණය කිරීමේ සැඟවුණු අරමුණ උත්සව සමය ඉලක්ක කර ගනිමින් සහල් ආනයනය කිරීම බවත්, ඒ හරහා නිලධාරීන් සහ දේශපාලඥයන් විශාල කොමිස් මුදලක් අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු අනාවරණය කළේය. සහල් මෙට්‍රික් ටොන් එකක් ආනයනය කිරීමේදී ඩොලර් 75ත් 100ත් අතර “අතයට” ගනුදෙනුවක් සිදුවන බව පවසන තෙන්නකෝන් මහතා, මෙම දූෂිත ක්‍රියාවලිය හේතුවෙන් දේශීය ගොවියා මෙන්ම පාරිභෝගිකයාද එකසේ අසරණ වී ඇති බව පෙන්වා දෙයි. රජය මැදිහත් වී මෙම සහල් මාෆියාව පාලනය කර සහන සැලසීම වෙනුවට ජාවාරම්කරුවන්ට මඟ පෑදීම කණගාටුදායක තත්ත්වයක් බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය.























