නාගරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන ‘METRO UPLIFT’ ව්‍යාපෘතිය නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් ආරම්භ විය. ප්‍රවාහන, මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම දැවැන්ත වැඩපිළිවෙළේ පළමු අදියර කොලොන්නාව ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් ඇරඹුණු අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 1288 කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. කොළඹ පුරා විසිරී ඇති තවත් නිවාස සංකීර්ණ 24 ක් මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතය.මෙම ව්‍යාපෘතිය හුදු ඉදිකිරීම් කටයුත්තකට පමණක් සීමා නොවී භෞතික හා සමාජීය සංවර්ධනය ඉලක්ක කරගත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. ඒ අනුව, නිවාස සංකීර්ණවල විදුලි සෝපාන පද්ධති නවීකරණය, CCTV කැමරා පද්ධති සවි කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ පොදු යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන්ම, සෝපාන පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමටත්, ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය භෞතික සම්පත් සම්පූර්ණ කිරීමටත් රජය පියවර ගෙන ඇත.මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අවධාරණය කළේ, දේශපාලන භේදයකින් තොරව මෙම පොදු දේපළ ආරක්ෂා කර ගැනීම නිවැසියන්ගේ වගකීමක් බවයි. නිවාස පද්ධති තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට කිසිසේත් ඉඩ නොතබන බවට දැඩි අනතුරු ඇඟවීමක් කළ අමාත්‍යවරයා, බලශක්තිය සුරැකීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය. පසුගිය පාලන සමයන්හිදී මෙම නිවාස ඉදිකළ ද ඒවා පවත්වාගෙන යාම පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් නොතිබූ බවත්, වර්තමාන රජයේ අරමුණ ජනතාවට බියෙන් තොරව නිදහසේ ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.























