දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරෙකු නීති විරෝධී ලෙස අධිකරණයට ඉදිරිපත් නොකොට දින හතක් රඳවා තබා නිරුවත් කොට අමානුෂික ලෙස පහරදීමට ලක් කළේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අප්‍රේල් මස 01 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කළා.
පහරදීමට ලක් වූ බව කියන දොන් සේසිරි විජේසේකර නමැති රියැදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කළා.
පසුගිය 02 වනදා කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා දුරකථන ඇමතුමක් ලබාදී වාහනය සමග තමන්ව දෙමටගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන පසුව සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් ගිනි අවි පෙන්වා සිය සේවා දායකයා පැහැරගෙන දෙමටගොඩ පොලිසියට රැගෙන ගිය බව එම නීතිඥවරු සඳහන් කළා.
පසුව කසල ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියකට අදාලව කාන්තාවක් පිළිබඳ විමසමින් තම සේවා දායකයාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දුන් බවත් එම නීතිඥවරු පැවසුවා.
ඉන් පසුව ඉකුත් 09 වනදා මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහු වාහනයකින් වැටුණු පුද්ගලයෙකු බව අඟවා අධිකරණය නොමග යවමින් පොලිසිය කරුණු දක්වා ඇති බවත් ඒ අනුව අදාළ පුද්ගලයා ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් කටයුතු කළ බවත් එම නීතිඥවරු සඳහන් කළා.
ඇප මත මුදා හැරීමෙන් පසුව මෙම පුද්ගලයා ඉකුත් 18 වනදා දක්වා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවත් මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කළහොත් මත්ද්‍රව්‍ය දමා වාහනය සමඟම නඩු පවරන බවට පොලිස් නිලධාරීන් විසින් සිය සේවා දායකයාට තර්ජනය කර ඇති බවත් එම නීතිඥවරු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටි පුද්ගලයා දැක බලාගැනීම සඳහා දින කිහිපයක් ගතවනතුරු පොලිස් නිලධාරීන් විසින් ඥාතීන්ට අවසර ලබා නුදුන් අතර ඉන් පසුව ඔහුගේ සහෝදරිය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවද නීතිඥවරු සඳහන් කළා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.