පවතින ඉහළ ඉල්ලුම සහ වෙළඳපොළ ප්රවණතා සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සහ මෙල්බර්න් අතර ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 2026 අගෝස්තු 2 වැනිදා සිට සතියකට ගමන් වාර 10ක් දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්රයේ සහ පවුල් හමුවීම් සඳහා ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ගේ සීග්‍ර වර්ධනයක් දක්නට ලැබෙන අතර, මෙම නව පියවර හරහා එම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගුවන් සමාගම අපේක්ෂා කරයි.මෙම නව කාලසටහනට අනුව සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම කොළඹින් පස්වරු 14:10ට පිටත්වන ගුවන් යානා පසුදින අලුයම 04:30ට මෙල්බර්න් වෙත ළඟා වනු ඇත. එහි සිට ආපසු පැමිණෙන ගුවන් ගමන් මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 06:00ට ආරම්භ වී එදිනම මධ්‍යහ්න 12:15ට කොළඹට ළඟා වීමට නියමිතය. මීට අමතරව දැනට ක්‍රියාත්මක වන UL604 සහ UL605 දෛනික ගුවන් ගමන් සේවාවන් ද නොවෙනස්ව පවතින අතර, එමඟින් ඉන්දියාව ඇතුළු අනෙකුත් කලාපීය ගමනාන්ත වෙත සම්බන්ධ වන මගීන්ට බාධාවකින් තොර සංචාරක පහසුකම් සැලසේ.මෙම ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට සහ එහි අධ්‍යාපනය ලබන සිසුන්ට මහඟු පහසුවක් වනු ඇත. විශේෂයෙන්ම නිවාඩු කාලසටහන්වලට ගැළපෙන පරිදි ගමන් සැලසුම් කිරීමට සහ තම මව්බිම සමඟ සබඳතා පවත්වා ගැනීමට මෙමඟින් වැඩි නම්‍යශීලී බවක් හිමි වේ. එමෙන්ම කොළඹ ගුවන් තොටුපළ කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශක්තිමත් කරමින්, ඉන්දීය සංචාරකයින්ට ශ්‍රී ලංකාව හරහා වඩාත් පහසුවෙන් මෙල්බර්න් වෙත ගමන් කිරීමට ද මෙම නව ව්‍යාප්තිය මඟ පාදනු ඇත.

























