කොළඹ වරාය සිය ඉතිහාසයේ ඉහළම බහාලුම් මෙහෙයුම් ධාරිතාව 2025 වසරේදී සපුරා ගැනීමට සමත්ව ඇති බව වරාය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ගතවූ වසර තුළ කොළඹ වරාය මෙහෙයවා ඇති බහාලුම් ප්‍රමාණය TEUs 8,290,000 කි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින ජයබාහු බහාලුම් පර්යන්තය (JCT) සහ නැගෙනහිර පර්යන්තය (ECT) මෙන්ම, චීන සමාගමක් යටතේ පවතින දකුණු ආසියානු පිවිසුම් පර්යන්තය (SAGT) සහ ඉන්දියාවේ අදානි සමූහය මෙහෙයවන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) යන සියලු අංශවල සාමූහික කැපවීම මෙම වාර්තාගත ජයග්‍රහණයට හේතු වී ඇත. 2024 වසරේදී බහාලුම් 7,700,000 ක් මෙහෙයවා තිබූ කොළඹ වරාය, 2025 වසරේදී සියයට 6 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයකි.මෙම සුවිශේෂී සන්ධිස්ථානය සැමරීම වෙනුවෙන් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පර්යන්තයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. මීට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල සහ වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ. කලාපීය මධ්‍යස්ථානයක් ලෙස කොළඹ වරායේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා 2026 වසරේදී ප්‍රතිඅපනයන සහ සැපයුම් පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉදිරි වසරේදී නැගෙනහිර (ECT) සහ බටහිර (WCT) පර්යන්තවල ඉදිකිරීම් අවසන් වීමත් සමඟ බහාලුම් හැසිරවීමේ ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් මෙරට ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් ලැබෙනු ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.ලොව ප්‍රමුඛ පෙළේ නැව් සමාගම් රැසක් කොළඹ වරායේ මෙහෙයුම් කෙරෙහි දැනටමත් දැඩි විශ්වාසය පළ කර ඇති අතර, ඉදිරියේදී තවත් සමාගම් රැසක් එක්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වරාය කළමනාකාරිත්වය සහ විදේශීය පර්යන්ත ක්‍රියාකරුවන් සමඟ 2026 වසර සඳහා වන සැලසුම් පිළිබඳව සාකච්ඡා පවත්වන ලදී. මෙම ජයග්‍රහණය හරහා ජාතික ආර්ථිකයට ලැබුණු මූල්‍යමය දායකත්වය අගය කළ අමාත්‍යවරයා, ඒ සඳහා කැපවූ සියලුම සේවක මණ්ඩලයට රජයේ ස්තූතිය පිරිනමමින්, ඉදිරි වසරේ සාර්ථකත්වය වෙනුවෙන් අමාත්‍යාංශයේ පූර්ණ සහය ලබාදෙන බවට සහතික විය.


























