අනිවාර්ය භෞතික පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් බහාලුම් (Containers) 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, සතිපතා රැස්වී සිය පරීක්ෂණ කටයුතු මාස තුනක් ඇතුළත අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව සෑම බදාදා දිනකම පස්වරු 2.00 ට මෙම කාරක සභාව රැස්වන අතර, එහි සොයාගැනීම්, යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් පැවැති සමාරම්භක රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබූ අතර, කාරක සභාවේ මීළඟ රැස්වීම 2026 ජනවාරි 28 වන බදාදා පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.මෙම මූලික සාකච්ඡාවේදී ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන ආකාරය සහ කාරක සභාව හමුවට කැඳවිය යුතු පාර්ශ්වයන් පිළිබඳව දීර්ඝ වශයෙන් අවධානය යොමු විය. මෙම අවස්ථාවට අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, සුනිල් වටගල, අර්කම් ඉල්යාස් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලක්මාලි හේමචන්ද්‍ර, අජිත් පී. පෙරේරා, ඩී.වී. චානක, මුජිබර් රහුමාන් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


























