කොළඹ නගරයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) බස් සේවාව හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අද (පෙබරවාරි 12) පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. මෙම ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් මේ වන විටත් සකස් වෙමින් පවතින අතර, ලබන අගෝස්තු මාසය වන විට මෙයට අදාළ බස් රථ දිවයිනට ගෙන්වීමට නියමිතය. මුලින්ම බස්නාහිර පළාතේ ප්‍රධාන මාර්ග 6ක් ඔස්සේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වන මෙය, පසුව ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක දක්වාත්, වසර තුනක් ඇතුළත ප්‍රධාන නගර අටක් දක්වාත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂිතය. පොදු ප්‍රවාහනය කෙරෙහි මගීන් ආකර්ෂණය කර ගැනීම මගින් කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ විසිරී පවතින බස් සේවාවන් ඒකාබද්ධ කර බස් සමාගම් (Clusters) ලෙස ප්‍රතිසංවිධානය කිරීම වඩාත් ප්‍රායෝගික විසඳුම බවයි. මීට අමතරව, දුම්රිය සේවාව මුල් කරගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවීම, කැලණි වැලි දුම්රිය මාර්ගය නවීකරණය සහ අධිවේගී මාර්ග සඳහා විද්‍යුත් ගෙවීම් පද්ධතියක් හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු විය. පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවකයින්ට විධිමත් පත්වීම් ලිපි ලබාදීම ඇතුළු සුබසාධන කටයුතු පිළිබඳවද ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වී තිබූ රියදුරු ලකුණු කැපීමේ (Demerit point) පද්ධතිය ‘GovPay’ හරහා මාස හතක් ඇතුළත ක්‍රියාවට නැංවීමට ඇති හැකියාවද මෙහිදී සාකච්ඡා කෙරිණි. ත්‍රිරෝද රථ සහ පාසල් වෑන් රථ සඳහා නියාමන රාමුවක් සකස් කිරීම සහ ජාතික ප්‍රවාහන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් වූ තීරණ රැසක් මෙම හමුවේදී ගනු ලැබීය.


























