රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ‘කුෂ්’ ගංජා තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශ කිරීමට කිසිදු භාණ්ඩයක් නොමැති මගීන් සඳහා වෙන් කර ඇති ‘හරිත මාවත’ (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී සැකපිට පරීක්ෂාවට ලක් කළ මෙම පුද්ගලයින් සතුව තිබී පාර්සල් 12ක අසුරන ලද ‘කුෂ්’ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 476ක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 104.76ක් පමණ වන බව රේගු වාර්තා සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි 25 සහ 26 යන වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය බැංකොක් නුවරින් මිලදී ගෙන නවදිල්ලිය හරහා අද (26) අලුයම 5.20ට පමණ එයාර් ඉන්දියා ගුවන් යානයකින් දිවයිනට පැමිණ ඇති බවයි. ඉදිරි විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී තිබේ.
























