හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සැදැහැවතුන්ට පහසුකම් සැලසීමට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව, එළඹෙන 05 වන දින අලුයම 6 සිට 11 වන දින පෙරවරු 7 දක්වා කාලය තුළ විහාරස්ථානය වෙත පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.මෙම ප්‍රවාහන පහසුකම ප්‍රධාන වශයෙන් ස්ථාන දෙකක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ. ඒ අනුව, පැරණි එම්.ඕ.ඩී. (M.O.D.) රථගාල සහ ලේක් හවුස් වටරවුම අසල පිහිටි රථගාලේ සිට කෙලින්ම ගංගාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සැලසේ.දුම්රියෙන් පැමිණෙන ජනතාව සඳහා ද විශේෂ මඟ පෙන්වීම් නිකුත් කර ඇත. කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයෙන් බැස ලේක් හවුස් වටරවුම වෙත පා ගමනින් පැමිණ බස් රථ ලබාගත හැකි අතර, කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන්නන්ට පිටකොටුව දෙසට නොගොස් ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ලේක් හවුස් වටරවුම වෙත ළඟා විය හැකිය.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධව මෙම සේවාව මෙහෙයවනු ලබයි. ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, ඉතා සහනදායී ගාස්තුවක් යටතේ ප්‍රවාහන පහසුකම් සලසා දීමට බලධාරීන් කටයුතු යොදා ඇත.ධාතු වන්දනාව සඳහා පැමිණෙන ජනතාව මාර්ග තදබදය අවම කරගැනීම සඳහා මෙම නිල ප්‍රවාහන සේවාවන් උපයෝගී කරගන්නා ලෙසත්, පොලිස් උපදෙස් පිළිපදිමින් විනයගරුකව කටයුතු කරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් ඉල්ලා සිටී.


























