ගනේමුල්ල, බොල්ලත උතුර ප්‍රදේශයේදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් කෝටි ගණනක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 40 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 300ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 946ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් යතුරුපැදියක්, කිරුම් උපකරණ සහ මුදල් ගණන් කරන යන්ත්‍රයක් ද සොයාගෙන තිබේ. පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වල තවත් එක් පියවරක් ලෙස මෙම වැටලීම හඳුන්වා දිය හැකිය.මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අදාළ සැකකරු වෙත ලබා දී ඇති බවයි. අත්අඩංගුවට ගත් සැකකරු ගනේමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු පිටුපස සිටින ජාලය අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා මහජන සහයෝගය අත්‍යවශ්‍ය බවත්, සැකකටයුතු පුද්ගලයන් හෝ ස්ථාන පිළිබඳව වහාම දැනුම් දෙන ලෙසත් ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.






















