ගල් අඟුරු වංචාවෙන් රට අඳුරට: විදුලි බිල යළි ඉහළ යන ලකුණු

විගණකාධිපති වාර්තාව මගින් හෙළිදරව් කර ඇති දූෂිත ගල් අඟුරු ගනුදෙනු හේතුවෙන් ඉදිරියේදී මෙරට බලශක්ති ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අවධාරණය කරයි. ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් දූෂිත සමාගම්වලට අවස්ථාව ලබා දීම හරහා සිදුවූ මෙම මහා පරිමාණ වංචාව දැන් විද්‍යාත්මකව ඔප්පු වී ඇති බවත්, මීට පෙර මේ පිළිබඳව හඬ නැගූ අවස්ථාවලදී රජයේ පාර්ශවකරුවන් එය උපහාසයට ලක් කළ ද දැන් සත්‍යය හෙළි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.​මෙම අක්‍රමිකතාවල සෘජු ප්‍රතිඵලයක් ලෙස නුදුරේදීම විදුලි ගාස්තු යළිත් වරක් ඉහළ දැමීමට රජයට සිදුවනු ඇති බව මරික්කාර් මහතා අනතුරු අඟවයි. වත්මන් පාලනය බලයට පත්වීමට පෙර ජනතාවට සුබ සිහින පෙන්වූවත්, අද වන විට රට පත්ව ඇත්තේ අනිවාර්ය විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවන අවදානම් සහගත තත්වයකටය. බලධාරීන් විදුලිය පිරිමැසීමට උපදෙස් දෙන්නේ මෙම අසාර්ථක කළමනාකරණය වසා ගැනීමට බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.​විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු නොකරන පිරිස් පිළිබඳව ද විවේචන එල්ල කළ මරික්කාර් මහතා, ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම බරපතල වංචාවන් හමුවේ මුණිවත රකින බවට චෝදනා කළේය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනතාව රවටන දේශපාලන ප්‍රකාශවලට වඩා විගණන වාර්තා මගින් තහවුරු කර ඇති මෙම කරුණු පිළිබඳව රටේ අවධානය යොමු විය යුතු බවයි. ගල් අඟුරු අර්බුදය හුදු තාක්ෂණික ගැටලුවක් නොව දූෂණය රජ වූ දේශපාලන තීන්දුවල ප්‍රතිඵලයක් බව ඔහුගේ අදහසයි.

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *