ගල්කිස්ස අධිකරණ පරිශ්‍රයේ දී නීතිඥවරයෙකු හා පොලිස් නිලධාරියෙකු අතර මෑතක දී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන්, අදාළ පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපතිවරයාගේ සහය පතන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.හෙතෙම කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත නඩුවට අදාළව අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා රජයේ නීතිඥවරයෙකුගේ සහය ද ලබා ගන්නා බවයි.පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ, අද (12) දින ත්‍රිකුණාමලය හින්දු සංස්කෘතික ශාලාවේ දී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. මෙම රැස්වීම ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල සේවයේ නියුතු පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා කැඳවනු ලැබීය.පොලිස් නිලධාරියාට නීතිමය සහාය ලැබෙනවා ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිමය නියෝජනයක් ලබා දීම සඳහා පියවර ගෙන ඇති බවයි.”මෙම සිද්ධියේ දී පොලීසිය නිසි පරිදි සහ කිසිදු අඩුපාඩුවකින් තොරව කටයුතු කළා ද යන්න සොයා බැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් දැනට සිදු කෙරෙමින් පවතිනවා,” යනුවෙන් ද පොලිස්පතිවරයා පැවසීය.