ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නැවතී තිබූ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) නිල වශයෙන් යළි ආරම්භ කෙරිණි. හංගේරියානු රජයේ ණය ආධාර මත රුපියල් බිලියන 14.37 ක ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ 2021 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ ද, පසුව එම ආධාර අත්හිටුවීමත් සමඟ වැඩකටයුතු ඇණහිට තිබුණි. ඒ අනුව, දැනට ඉතිරිව ඇති වැඩකටයුතු රුපියල් බිලියන 12.27 ක දේශීය අරමුදල් යොදවා මාස 22 ක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇත. මීටර් 374 ක දිගින් යුත් මෙම පාලම විලියම් ගොපල්ලව මාවත ඔස්සේ ගැටඹේ මංසන්ධිය සහ දුම්රිය මාර්ගය හරහා ඉදිකරන අතර, එය මංතීරු දෙකකින් සහ තුනකින් සමන්විත වනු ඇත. මීට අමතරව, පේරාදෙණිය දෙසින් පැමිණෙන වාහනවලට දුම්රිය මාර්ගය හරහා නොගොස් බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා මීටර් 172 ක දිගින් යුත් තවත් අතිරේක ගුවන් පාලමක් ද මෙයට සම්බන්ධ කෙරේ.


























