ගොවීන්ට සාධාරණ වී මිලක් ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි

​වී ගොවීන්ගේ අස්වැන්න සඳහා වහාම සාධාරණ සහතික මිලක් ලබාදීමට රජය පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව කතා කිරීමේදී රජය ඔවුන්ට විවිධ චෝදනා එල්ල කරමින් අපහාස කරන බවත්, නියමිත වේලාවට පොහොර නොලැබීම සහ අස්වනු නෙළන කාලයට විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීම නිසා ගොවීන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. රජය බලයට පත්වීමට පෙර වී කිලෝවක් සඳහා ලබාදෙන බවට වූ පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් නිෂ්පාදන පිරිවැය පවා පියවා ගැනීමට ගොවීන්ට නොහැකි වී ඇතැයිද ඔහු සඳහන් කළේය.​මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී රුපියල් 350 වැනි සහනදායී මිලකට පොහොර මිටියක් ලබා දෙමින්, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගෙන සහල් මිලද පාලනය කිරීමට හැකි වූ බව මන්ත්‍රීවරයා සිහිපත් කළේය. පසුව පැවති රජය සමයේ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් යම් වරදක් සිදු වූ බව පිළිගත් ඔහු, වර්තමාන පාලකයන් මෝල් හිමියන්ගේ අවශ්‍යතාවලට අනුව කටයුතු කරමින් පාලන මිල පවා ඉහළ දමා ඇති බවට චෝදනා කරයි. මීට අමතරව, ආණ්ඩුව ලබාදුන් පොරොන්දු කඩකිරීම නිසා අද වන විට පාරිභෝගිකයාටද සාධාරණ මිලකට සහල් ලබාගැනීමට නොහැකි වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.​ගොවීන්ගේ ගැටලුවලට අමතරව අධික බදු බර සහ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හේතුවෙන් සමස්ත මහජනතාවම දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ප්‍රකාශ කිරීමට පහසු වුවද ප්‍රායෝගිකව වැඩ කිරීම අභියෝගාත්මක බව වත්මන් පාලකයන්ට දැන් තේරී තිබිය යුතු බව පෙන්වා දෙන ඔහු, මෙම ආර්ථික අපහසුතාවලින් ගොවීන් ඇතුළු රටේ ජනතාව මුදාගැනීම සඳහා පැහැදිලි හා විධිමත් වැඩපිළිවෙලක් වහාම ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *