ජන ජීවිතය යළි නඟා සිටුවීමට ජනපතිගෙන් කඩිනම් නියෝග: වන්දි දෙසැම්බර් 25ට පෙර!

කුණාටුවෙන් බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපාය මාර්ග කඩිනමින් යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර, කෘෂිකාර්මික, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසට එතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.​මෙම විශේෂ උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. මෙම හමුවේදී පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදු වූ මෑත කාලීන විශාලතම ව්‍යසනය ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.​ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය නිලධාරීන් සිදු කළ මහත් කැපවීම එතුමා මෙහිදී අගය කළේය.​එම කැපවීම නිසාම විදුලිය, ජලය සහ මාර්ග වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වන විටත් සාර්ථකව ප්‍රතිසංස්කරණය කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.​ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ පවත්වා ගෙන යන ශක්තිමත් මූල්‍ය විනය හේතුවෙන් බව එතුමා පැහැදිලි කළේය.​වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර අනිවාර්යයෙන්ම නිම කරන ලෙසට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.​මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවූ ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, එම ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවක බිඳ වැටීමට ඉඩ නොතබන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.​දිස්ත්‍රික්කයේ විනාශ වූ ප්‍රධාන මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද විශේෂ සාකච්ඡාවට ලක් විය. මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසමින් එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.​කලාඔය පහළ පාලම ඉදිකිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන පරිදි තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකරන ලෙසට උපදෙස් ලබා දෙන ලදී.​ඉදිකිරීම් සිදු කිරීමේදී එහි අත්‍යවශ්‍යතාව පිළිබඳ මනා අවබෝධයකින් යුතුව සහ නිසි ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය. විශාල ඉදිකිරීම් කිසිදු ප්‍රයෝජනයකින් තොරව අතහැර දමා තිබීම මෙහිදී සිහිපත් කළ එතුමා, ප්‍රදේශයක් ලෙස පමණක් නොව රටක් ලෙස ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන්නේය.​දිස්ත්‍රික්කයේ විදුලි හා ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව විමසූ ජනාධිපතිවරයා, එම කටයුතු කඩිනමින් සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව නැවත නැවතත් අවධාරණය කළේය.​දිස්ත්‍රික්කයේ ළිං පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා කඩිනමින් මැදිහත් වන ලෙසට පළාත් පාලන ආයතන වෙත ද උපදෙස් ලබා දෙන ලදී.​මහ කන්නයේ වී වගාව සඳහා ගොවි ජනතාව සූදානම් කිරීමට ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව විමසූ එතුමා, වගාවන් සඳහා සුදුසු පරිසරයක් කඩිනමින් ගොවි ජනතාවට සකස් කර දෙන ලෙසත්, විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් අතහැරෙන භූමි ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නේය.​සත්ව කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දී ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග යළි නඟා සිටුවීමේ අවශ්‍යතාව පැහැදිලි කළ එතුමා, ඒ සඳහා බිම් මට්ටමින් නිවැරදි තොරතුරු අවශ්‍ය බවත්, සෑම සත්ව ගොවිපළක්ම ලියාපදිංචි කිරීම වෙනුවෙන් නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.​හානියට පත් වූ නිවාස සඳහා වන්දි ලබාදීම් කඩිනම් කරන ලෙස උපදෙස් දුන් අතර, නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වල පදිංචි කරවීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, රජයේ ඉඩමක් සැපයිය නොහැකි නම් ඉඩමක් මිලදී ගැනීම වෙනුවෙන් හිමිවන රුපියල් මිලියන 05ක මුදල ඔවුන්ට ලබා දෙන ලෙසත් උපදෙස් ලබා දුන්නේය. පූර්ණ නිවාස හානි වූ ජනතාවට රුපියල් ලක්ෂ 50ක නිවසක හිමිකම ලැබෙන අයුරින් නිසි සැලැස්මක් අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.​ධීවර කර්මාන්තය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, හානි වූ ධීවර බෝට්ටු අලුත්වැඩියා කර ගැනීම සඳහා ආධාර ලබාදීම මෙන්ම ඉස්සන් ගොවිපොළ සඳහා සාධාරණ වන්දි මුදල් සහ බැංකු හරහා සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. හලාවත රෝහලේ කටයුතු පිළිබඳව විමසූ විට ලබන සතිය වන විට රෝගීන් නැවත ඇතුළත් කර ගැනීම සහ ඒකක කිහිපයක කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරීහු ප්‍රකාශ කළහ.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *