ජනතාව මත පටවා ඇති අධික බදු බර ඉවත් කර වහා සහන සලසනු! – විපක්ෂ නායකගෙන් දැඩි බලපෑමක්

අසීමිත ලෙස ඉහළ දමා ඇති ගෑස්, ඉන්ධන සහ විදුලි ගාස්තු හේතුවෙන් මෙරට මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි පීඩනයකට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කරයි. කෙටි කාලයක් තුළ අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් දරාගත නොහැකි මට්ටමට ඉහළ යාම ජන ජීවිතය අඩාල වීමට සෘජුවම බලපා ඇති බවත්, පවතින ගෝලීය අර්බුද හමුවේ වුවද රජය මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.​ලෝකයේ සෙසු රටවල් තම වැසියන් මුහුණ දෙන ආර්ථික අපහසුතා හඳුනාගෙන විවිධ සහන පැකේජ හඳුන්වා දෙද්දී, වත්මන් රජය සිදු කරන්නේ ජනතාව මත තවදුරටත් බර පැටවීම පමණක් බව විපක්ෂ නායකවරයා පවසයි. ඕස්ට්‍රේලියාවේ සිට ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල් පවා තම ජනතාව සුරැකීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන ඒ මහතා, රජයේ මූලික වගකීම විය යුත්තේ පීඩාවට පත් ජනතාවට සහනයක් වීම මිස ඔවුන් තවදුරටත් අසරණ කිරීම නොවන බව සිහිපත් කරයි.​මහා භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් අරමුදල් පවතින බවට රජයම පවසන බැවින්, එම ප්‍රතිලාභ ජනතාව වෙත ලබා දීමට මෙය සුදුසුම අවස්ථාව බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම මැද පන්තිය සහ අඩු ආදායම්ලාභී පවුල් ඉලක්ක කර ගනිමින් මූල්‍ය සහන පැකේජයක් හඳුන්වා දිය යුතු බවත්, පාර්ලිමේන්තුව හරහා එවැනි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දීමට විපක්ෂය සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.​සමාජ මාධ්‍ය හරහා විහිළු සහගත ප්‍රචාරයන් ගෙන යමින් කාලය නාස්ති නොකර, සැබෑ ලෙසම ජනතාව ජීවත් කරවීම සඳහා රජය මැදිහත් විය යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දීමට පියවර ගන්නා ලෙසත්, සුපිරි ධනවතුන් නොවී අමාරුවෙන් ජීවිතය ගැටගසා ගන්නා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සමාජ සාධාරණත්වය ඉටු කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,083

Leave A Reply

Your email address will not be published. Required fields are marked *