ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ පවතින සක්‍රීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් එළඹෙන ජනවාරි 05 වනදා සිට දිවයිනේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට මෙම තත්ත්වය සෘජුවම බලපාන අතර, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇද හැලෙනු ඇත. අනුරාධපුරය සහ හම්බන්තොට වැනි ප්‍රදේශවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකියාවක් පවතී.වර්ෂාවට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සුළඟේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ඇතුළු උතුරු, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, කොළඹ, ගම්පහ සහ මොනරාගල වැනි දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 50 දක්වා වන තද සුළං ඇතිවිය හැකිය. මෙම සුළං තත්ත්වය වායුගෝලීය කැලඹීමත් සමඟ තවදුරටත් වර්ධනය විය හැකි බැවින් එළිමහන් කටයුතුවලදී සැලකිලිමත් වීම වැදගත් වේ.ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී ඇතිවිය හැකි දරුණු අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. විදුලි උපකරණ භාවිතයේදී සහ එළිමහන් ස්ථානවල රැඳී සිටීමේදී සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර කල්තියා අනුගමනය කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දෙනු ලැබේ.


























