ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරනවා – කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ඉක්මනින්ම කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන බවත්, දීර්ඝ කාලයක් පුරා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිවී තිබූ ගැටලු විසඳීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නව රජය විසින් ක්‍රියාත්මක කරන බවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දේශීය ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමිනි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍යය චතුරංග අබේසිංහ මහතුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික වාණජ මණ්ඩයේ ශ්‍රවණාගාරයේදී ඊයේ (26) මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

මෙම සම්මන්ත්‍රණයේදී රජයේ ප්‍රතිපත්ති සහ කර්මාන්ත සංවර්ධනය, කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග, ශ්‍රම බලකාය සංවර්ධනය කිරීම, කාන්තා ව්‍යවසායකත්වය නගා සිටුවීම, අපනයන සංවර්ධනය, කර්මාන්තකරුවන් සඳහා ලබා දෙන දිරිගැන්වීම්, නවෝත්පාදන වැනි කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ ව්‍යවසායකයින් හා කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු රැසක් ඉදිරිපත් වූ අතර අමාත්‍යවරුන් දෙදෙනා විසින් එම ගැටලු සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රමුඛ රජය විසින් මේ වන විට ලබාදී ඇති විසඳුම් සහ සහන පිළිබඳව දැනුවත් කරන ලදී.

මෙහිදී අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා පැවසුවේ රටේ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා මෙහෙයවීම නව රජයේ අරමුණ බවත් නව රජයේ මැදිහත්වීම මත රටේ ආර්ථීකය පැවති තත්ත්වයට වඩා යම් ස්ථාවර මට්ටමකට ළඟා වී ඇති බවය. එසේම පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකය කඩා වැටුනේ කොවිඩ් වසංගතය හෝ ආර්ථික අර්බුදය නිසා නොවන බවත් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ පැවති දුර්වලතා ආර්ථිකය කඩා වැටීමට මූලිකම හේතුව වූ බවද අමාත්‍යවරයා පැවසීය. තවද කර්මාන්තකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දුන් ගැටලු විසඳීම අරමුණු කරගනිමින් සෑම දිස්ත්‍රික්කයකම කර්මාන්ත ප්‍රවර්ධන සභා පිහිටුවන බවත්, විශේෂයෙන්ම රජය විසින් ජාතික බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් කර්මාන්තකරුවන්ගේ බදු ගැටලු විසඳීමට කටයුතු කරන කරන බවද හදුන්නෙත්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එහිදී කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයින්ගෙන් ඉදිරිපත්වූ ගැටලු වලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසුවේ නවෝත්පාදන වාණිජකරණය කිරීමට, ආර්ථිකය තුළ කාන්තා දායකත්වය වැඩි කිරීමට අවධානය යොමුකර ඇති බවත් නව සංචාරක කළාප පිහිටුවීමට හා ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවය. මෙහිදී නවෝත්පාදන වාණිජකරණය කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ජාතික වාණිජ මණ්ඩලය පොරොන්දු විය.

මෙම අවස්ථාව සඳහා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අනුර වර්ණකුලසූරිය, උප සභාපති ලක්මල් ප්‍රනාන්දු, හිටපු සභාපති දීපාල් නෙල්සන්, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

What's your reaction?

Related Posts

1 of 623

Leave A Reply

Your email address will not be published. Required fields are marked *