ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ජාලය හරහා පුද්ගලයන් හඳුනාගෙන, ඔවුන්ට මත්පෙති ලබාදී සිහිමුර්ජා කර මුදල් හා රන් ආභරණ කොල්ලකෑ 28 හැවිරිදි සැකකරුවෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු පෞද්ගලික බැංකු සේවකයෙකු සමඟ ටික්ටොක් හරහා මිතුරු වී, පසුගිය ජනවාරි 19 වන දින කොළඹ ප්‍රධාන පෙළේ වෙළඳ සංකීර්ණයක් තුළ පිහිටි අවන්හලකදී ඔහුව හමුවී ඇත. එහිදී සැකකරු විසින් වින්දිතයාට රහසිගතව නිද්‍රාශීලී පෙති වර්ගයක් ලබා දී ඇති අතර, ඉන් අනතුරුව සිහිසුන් වූ එම පුද්ගලයාව බොරලැස්ගමුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් තිබේ.එහිදී සැකකරු විසින් වින්දිතයා සතුව තිබූ රන් ආභරණ කොල්ලකා ඇති අතර, ඔහුගේ බැංකු කාඩ්පත භාවිත කර රුපියල් 258,000ක මුදලක් ද ලබාගෙන පලාගොස් ඇති බව පොලිසිය පවසයි. වින්දිතයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, පන්නිපිටිය ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී බැංකු කාඩ්පත් කියවීමේ යන්ත්‍රයක් (Card-reading device), මත්පෙති 5ක් සහ මුදල් නෝට්ටු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.පොලිසිය සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු මීට පෙරද පෞද්ගලික සමාගමක සේවකයෙකුට මේ අයුරින්ම මත්පෙති ලබාදී කොල්ලකා ඇති බවයි. සැකකරු විසින් මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් රුපියල් මිලියන 2කට වඩා වටිනා මුදල් සහ රන් ආභරණ කොල්ලකා ඇති බව අනාවරණය වී ඇත.


























