ඩෙංගු මුළුමනින්ම තුරන් කිරීමට වසර දෙකක සැලසුමක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඉදිරි වසර දෙක ඇතුළත දිවයිනෙන්ම ඩෙංගු රෝගය මුළුමනින්ම තුරන් කිරීම සඳහා විධිමත් හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සහ ඉදිරි මර්දන කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මගින් සංවිධානය කර තිබූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. දිවයිනම ආවරණය වන පරිදි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල රැසක් මෙම හමුවට එක්ව සිටියහ.​මෙහිදී පසුගිය කාලසීමාවේ ක්‍රියාත්මක කළ වැඩසටහන්වල අඩුපාඩු හඳුනාගනිමින්, ක්ෂේත්‍රයේ පවතින අභියෝග හා ඉදිරියේදී විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. විශේෂයෙන්ම වෙනස් වන කාලගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම, ඒකාබද්ධ මෙහෙයුම් වේගවත් කිරීම, තාක්ෂණික දායකත්වය ඉහළ නැංවීම මෙන්ම රෝගී ප්‍රතිකාර සේවා තවදුරටත් ශක්තිමත් කරමින් මරණ සංඛ්‍යාව අවම කරගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.​පසුගිය අධිඅවදානම් සමයේ සෞඛ්‍ය වෘත්තිකයන් දැක්වූ කැපවීම ඇගයීමට ලක්කළ අමාත්‍යවරයා, ඩෙංගු මරණ අවම කරගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය. එමෙන්ම රෝගීන් වාර්තා වීම අඩු මට්ටමක පවතින කාල සීමාවන්හිදී ද මදුරු මර්දන ක්‍රියාවලිය අඩාල නොකර තවදුරටත් ශක්තිමත් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය හා අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරී වසම් මට්ටම දක්වාම ඉලක්කගත මර්දන වැඩසටහන් දියත් කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.​ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෑතකදී ක්‍රියාත්මක කළ මර්දන වැඩසටහන් නිසා රෝගීන් වාර්තාවීමේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව මීට පෙර දිනකට වාර්තා වූ 1,300ක් පමණ වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට 350-400 දක්වා පහත බැස ඇත. ඊයේ දිනය වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 87,536 ක් සහ මරණ 63 ක් වාර්තා වී ඇති අතර, ඉදිරි වර්ෂාපතන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම මර්දන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,271

Leave A Reply

Your email address will not be published. Required fields are marked *