ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව මෙරට මූල්‍ය විනිවිදභාවය තහවුරු කෙරෙන වැදගත් පියවරක් ලෙස, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ජාත්‍යන්තර ආයෝජකයින් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පවත්වන ලදී. 2025 දෙසැම්බර් 31 දින ප්‍රකාශයට පත් කරන ලද ණය වාර්තාව (Debt Report) පදනම් කරගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී, මෙරට නව ‘Step-Up’ බැඳුම්කර හිමියන් සමඟ වත්මන් මූල්‍ය හා ආර්ථික ප්‍රගතිය පිළිබඳව අදහස් හුවමාරු විය. මෙහිදී ප්‍රධාන වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.66ක අගයකින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර කාණ්ඩ පහක් කෙරෙහි අවධානය යොමු වූ අතර, ඒවා ආර්ථික වර්ධනය මත පදනම් වූ බැඳුම්කර (MLB) සහ යහපාලන ප්‍රතිසංස්කරණ මත පදනම් වූ බැඳුම්කර (GLB) ලෙස හඳුන්වා දී ඇත.ආර්ථික වර්ධනය මත පදනම් වූ බැඳුම්කර (MLB) යටතේ ඩොලර් බිලියන 6.22ක වටිනාකමින් යුත් බැඳුම්කර කාණ්ඩ හතරක් පවතින අතර, 2027 වන විට මෙරට සාමාන්‍ය දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 107 ඉක්මවා ගියහොත් එහි පොලී අනුපාත ඉහළ යනු ඇත. එහෙත් ආර්ථික වර්ධනය ඩොලර් බිලියන 94 ට වඩා අඩු වුවහොත්, රජයට ඩොලර් බිලියන 1.6ක් දක්වා වූ ණය කප්පාදුවක සහනයක් හිමිවේ. මේ අතර, ඩොලර් බිලියන 1.44ක අගයකින් යුත් යහපාලන බැඳුම්කර (GLB) සඳහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා වැඩිකිරීම වැනි ඉලක්ක සපුරාගතහොත් පොලී අනුපාත අඩු කරගැනීමේ අවස්ථාව හිමිවේ.මෙහිදී අදහස් දැක්වූ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සියලුම ණය තිරසාර ඉලක්ක සපුරා ගැනීමට නියමිත මාවතේ පසුවන බවයි. 2025 වසර අවසානය වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය 2022 ආර්ථික අර්බුදයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි. මෙම ශක්තිමත් සංචිත මට්ටම රුපියලේ අගය ස්ථාවර කිරීමටත්, වසරකට ඩොලර් බිලියන 3ත් 4ත් අතර වන ණය වාරික ගෙවීමේ හැකියාව තහවුරු කිරීමටත් අතිශය වැදගත් වන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.


























