ශ්‍රී ලංකා තැපැල් සේවය නවීකරණය කිරීමේ අඛණ්ඩ වැඩපිළිවෙළ යටතේ, රුපියල් මිලියන 590කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10ක් සහ කැබ් රථ 20ක් පසුගිය බ්‍රහස්පතින්දා (12) තැපැල් ප්‍රවාහන ජාලයට එක් කෙරිණි. රුපියල් මිලියන 849ක සම්පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ රථවාහන ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය කෞෂල්‍ය අරියරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් තැපැල් මූලස්ථානයේදී පැවැත්විණි. මෙහිදී තැපැල් මෙහෙයුම් විධිමත් කිරීම සඳහා තැපැල්කරුවන් වෙනුවෙන් බයිසිකල් කූඩ බෙදාදීම, මෙහෙයුම් පාලන හා ප්‍රතිචාර ඒකකයක් විවෘත කිරීම සහ කාර්යාලීය කාර්යක්ෂමතාව නැංවීමට පරිගණක උපකරණ ලබාදීම ද සිදු විය. මීට අමතරව තැපැල් මූලස්ථානය, මධ්‍යම තැපැල් හුවමාරුව සහ මඩකලපුව තැපැල් කාර්යාලය සඳහා සූර්ය පැනල පද්ධති සවිකිරීමට ද නියමිතය.පසුගිය වසරේ මෙහෙයුම් බාධාවන් මධ්‍යයේ වුවද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 13,450ක ආදායමක් උපයා ඇති අතර, සේවය ශක්තිමත් කිරීම සඳහා නව සේවකයින් 2,800ක් බඳවා ගැනීමට සහ ස්ථිර කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 2025 අයවැය ප්‍රතිපාදන යටතේ ලබාගත් මෙම නව රථවාහන මඟින් භාණ්ඩ බෙදාහැරීමේ සේවාවන් (COD) සහ ‘SL Post Courier’ සේවාවන් දිවයින පුරා වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය. රජය තැපැල් සේවයේ අනාගතය සුරක්ෂිත කිරීමට කැපවී සිටින බැවින්, තැපැල් සේවාවන් වැඩි වශයෙන් භාවිත කර ආදායම නැංවීමට සහාය වන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. මෙම අවස්ථාවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා ඇතුළු නිලධාරීන් සහ වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.


























