ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම පදනම් කරගනිමින් ඊයේ රාත්‍රියේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනය රජය විසින් සිදුකළ සූක්ෂම මංකොල්ලයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා චෝදනා කරයි. අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, දැනට මෙරට පවතින්නේ පැරණි මිලට ආනයනය කළ ඉන්ධන තොග බවත්, එසේ තිබියදී ක්ෂණිකව මිල වැඩි කිරීම හරහා රජය අතිවිශාල ලාභයක් ලබමින් සිටින බවත්ය. බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන බදු සහ කොමිස් මුදල් ඉවත් කර සහන ලබාදීමට ආණ්ඩුව තවමත් අපොහොසත් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට තේ අපනයනය, ඇඟලුම් කර්මාන්තය සහ සංචාරක ක්ෂේත්‍රය බරපතල අර්බුදයකට ලක්ව ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී අනාවරණය කළේය. විදේශ ප්‍රේෂණ අඩුවීම සහ සෘජු විදේශ ආයෝජන නොපැමිණීම හමුවේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙමින් පවතින බව පවසන ඔහු, ඕස්ට්‍රේලියාව, චීනය සහ මැලේසියාව වැනි රටවල් සමඟ නව වෙළඳ ගිවිසුම්වලට එළඹෙමින් විදේශ ආයෝජකයින් දිනා ගැනීමට රජය වහා පියවර ගත යුතු බව අවධාරණය කළේය.විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදුව ඇති බව කියන රුපියල් මිලියන 10,000ක දැවැන්ත ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව මරික්කාර් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. බාල වර්ගයේ ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් විදුලි බලාගාරවල යන්ත්‍රෝපකරණවලට හානි සිදුව ඇති බවත්, මේ හේතුවෙන් ඉදිරියේදී අධික පිරිවැයක් දරා ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට සිදුවනු ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය. ගල් අඟුරු නැව් ප්‍රමාද වීම හරහා සිදුවූ අතිවිශාල මූල්‍ය පාඩුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද වගකිව යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.ආණ්ඩුවේ ක්‍රියාකලාපය තවමත් “හුන්ඩු මානසිකත්වයක” පවතින බව විවේචනය කළ මන්ත්‍රීවරයා, ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කළේ නම් රටේ සියලුම භාණ්ඩ හා සේවාවල මිල පහත දැමීමට අවස්ථාව තිබූ බව පෙන්වා දුන්නේය. එසේම වමාංශික ප්‍රතිපත්ති කතා කරන ජනාධිපතිවරයා මේ වන විට විදුලිබල මණ්ඩලය විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවට ද ඔහු චෝදනා කළේය. ආනයන සහ අපනයන පරතරය වැඩිවීම හමුවේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අසීරුතාවන් පිළිබඳව රජය දක්වන උදාසීන පිළිවෙත මෙහිදී දැඩි දෝෂදර්ශනයට ලක්විය.රජය තුළ සිදුවන දූෂණ සහ වංචා හෙළිදරව් කිරීම සඳහා සමගි ජන බලවේගය අඛණ්ඩව මැදිහත් වන බව පවසමින් මරික්කාර් මහතා සිය අදහස් දැක්වීම අවසන් කළේය. ජනතාව පීඩාවට පත් කරමින් සිදුකරන මෙම අත්තනෝමතික මිල ඉහළ දැමීම්වලට එරෙහිව ඉදිරියේදී දැඩි දේශපාලන ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

























