තෙල් සංස්ථාවේ සභාපතිවරයා විසින් මෑතකදී සිදුකළ ප්‍රකාශයන් ඉන්ධන මිල ගසාකෑම වසන් කිරීමට දරන උත්සාහයක් බව සමගිය ඒකාබද්ධ වෘත්තීය බලවේගයේ ආනන්ද පාලිත මහතා පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, ඉන්ධන නැව් පැමිණීම පිළිබඳව පවසමින් ජනතාව නොමඟ යැවීමට බලධාරීන් කටයුතු කරන බවයි. ඉන්දියාව සිය රටේ ඉන්ධන මිල පාලනය කිරීමට බදු සහන ලබාදී ඇති පසුබිමක, මෙරට පාලකයන් ලාභ පරමාර්ථයෙන් ඉන්ධන ආනයනය කරමින් ජනතාව පීඩාවට පත් කරන බවත්, වසර 76ක ශාපය අවසන් කරන බව පැවසූ පිරිස් අද ක්‍රියා කරන්නේ ඊට පටහැනිව බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.මීට පෙර ඉන්දියාවෙන් තෙල් ලබාගැනීමට විරුද්ධ වෙමින් අනෙක් පිරිස් “ද්‍රෝහීන්” සහ “වහලුන්” ලෙස හැඳින්වූ කණ්ඩායම්, අද එම ක්‍රියාවලියම ක්‍රියාත්මක කිරීමේ පවතින දේශපාලන දෙබිඩිකම මෙහිදී දැඩි විවේචනයට ලක් විය. විශේෂයෙන්ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය පැවරීමට එරෙහිව සේවක මුදලින් නඩු පැවරූ පුද්ගලයන්ම අද මෙලෙස කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බව පාලිත මහතා පෙන්වා දුන්නේය. පටු දේශපාලන වාසි තකා මෙරට බලශක්ති ක්ෂේත්රය සහ සම්පත් අවභාවිත කිරීමට ඉඩ නොදිය යුතු බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
























