දරුවන් බන්ධනාගාර බස්වල ගෙන යාම අවසන්: නව ප්‍රවාහන පද්ධතියක් ඇරඹෙයි!

පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තු යටතේ දරුවන් ප්‍රවාහනය කිරීම සඳහාම වෙන්වූ විශේෂිත ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. මෙතෙක් දරුවන් බන්ධනාගාර රථවල ප්‍රවාහනය කිරීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත්, විශේෂයෙන් වැඩිහිටි අපරාධකරුවන් සමඟ ගමන් කිරීමට සිදුවීම සහ ඇතැම් අවස්ථාවල වින්දිත දරුවන් හා සැකකරුවන් එකම වාහනයක රැගෙන යාම නිසා අධිකරණ ක්‍රියාවලිය තුළ දරුවන් නැවත වරක් පීඩාවට පත්වන (Secondary Victimization) බවත් ඇය පෙන්වා දුන්නාය. 1990 අංක 335/2010 දරන මූලික අයිතිවාසිකම් නඩුව විභාග කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය පවා මෙවැනි ස්වාධීන ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාව අවධාරණය කර තිබූ බව අමාත්‍යවරිය සිහිපත් කළාය.​මෙම වැඩපිළිවෙළේ පළමු පියවර ලෙස දකුණ, සබරගමුව, බස්නාහිර, වයඹ සහ උතුරු පළාත් සභා සඳහා නවීන ටොයෝටා වෑන් රථ පහක් ප්‍රදානය කර තිබේ. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “සුරක්ෂිත ළමා කාලයක් – නිර්මාණශීලී හෙටක්” යන තේමාව යටතේ පළාත් මට්ටමින් ළමා ප්‍රවාහන රථ මිලදී ගැනීමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 250ක් වෙන් කර ඇත. ඒ අනුව සෑම පළාතකටම එක බැගින් වන සේ රථ වාහන නවයක් ඊයේ (24) බත්තරමුල්ල අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.​රාජ්‍ය ආයතනවල නව බඳවා ගැනීම් තාවකාලිකව අත්හිටුවා තිබුණද, මෙම පද්ධතියේ කාර්යක්ෂමතාව වෙනුවෙන් පළාත් මට්ටමින් නව තනතුරු 54ක් ඇති කිරීමට රජය පියවර ගෙන ඇත. ඒ අනුව එක් පළාතකට රියදුරන් දෙදෙනෙකු, භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු බැගින් අනුයුක්ත කෙරෙන අතර, ඔවුන් සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට ද කටයුතු යොදා ඇත. ආර්ථික දර්ශක මෙන්ම ඉදිරි වසරේදී සමාජ දර්ශක ඉහළ නැංවීම සඳහා කාන්තා හා ළමා කටයුතු ක්ෂේත්‍රයේ උපරිම මැදිහත්වීමක් සිදු කරන බවත්, අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත දරුවන් රැගෙන යාමේදී මෙතෙක් පැවති බරපතල ගැටලු මෙමඟින් විසඳෙනු ඇති බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

What's your reaction?

Related Posts

1 of 910

Leave A Reply

Your email address will not be published. Required fields are marked *