වසරේ උදාවත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි. ජනවාරි 01 වැනිදා සිට ගතවූ දින 9ක කාලය තුළ පමණක් මෙරටින් රෝගීන් 2,420ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා මාධ්‍ය වෙත අනාවරණය කළේය.දත්ත විශ්ලේෂණයට අනුව, සමස්ත රෝගීන්ගෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතටයි. එම පළාතෙන් රෝගීන් 1,317ක් හඳුනාගෙන ඇති අතර, දකුණු පළාතෙන් 361ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 192ක් වාර්තා වී තිබේ. මීට අමතරව සබරගමුව, නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත්වලින් ද රෝගීන් වාර්තා වීමේ ප්‍රවණතාවක් පවතී.දිස්ත්‍රික් මට්ටමින් ගත් කල, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වන 625ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. මින් රෝගීන් 165ක්ම කොළඹ නගර සභා සීමාවට අයත් පිරිස් වීම විශේෂත්වයකි. අනෙක් අතට ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 393ක් සහ කළුතරින් 128ක් වශයෙන් වාර්තා වෙමින් බස්නාහිර පළාත දැඩි අවදානමක පවතින බව තහවුරු කරයි.දකුණු පළාතේ තත්ත්වය ද සැලකිල්ලට ගත යුතු මට්ටමක පවතින අතර මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 162ක් සහ ගාල්ලෙන් 148ක් ලෙස සටහන් වී ඇත. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 140ක් සහ රත්නපුරයෙන් 113ක් වාර්තා වී ඇති බව වෛද්‍ය කන්නන්ගර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.වර්තමානයේ පවතින වැසි සහිත කාලගුණය සහ මෑතකදී ඇති වූ ආපදා තත්ත්වයන් මදුරුවන් බෝවීම වේගවත් කිරීමට ප්‍රධාන හේතුව වී ඇත. වර්ෂාවත් සමඟ ජලය රැඳෙන ස්ථාන බහුල වීම ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යාමට සෘජුවම බලපා ඇති බව සෞඛ්‍ය අංශවල නිරීක්ෂණය වී තිබේ.ඉදිරි දිනවලදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දී ඇති පුරෝකථන අනුව මෙම අවදානම තවදුරටත් පැවතිය හැකිය. එම නිසා ඉදිරි කාලසීමාව තුළ ඩෙංගු මර්දනය සඳහා ජනතාව වඩාත් සක්‍රීයව දායක විය යුතු බව බලධාරීහු පවසති.පවතින අවදානම අවම කර ගැනීම සඳහා තමන් පදිංචි පරිශ්‍රයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන නිරන්තරයෙන් පරීක්ෂා කර ඒවා විනාශ කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම මෙන්ම පරිසරය පිරිසිදුව තබා ගැනීම මේ මොහොතේ අතිශය වැදගත් වේ.


























