දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි!

නැගෙනහිර දෙසින් පැමිණෙන කාලගුණික බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවීමට ඉඩ ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවීමට ද ඉඩ තිබේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50ක් පමණ වේගවත් සුළං අපේක්ෂා කළ හැක. මේ අතර, මන්නාරම සිට හම්බන්තොට දක්වා, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි ඇති වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සවස හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සුළඟ ඊසාන දෙසින් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර 30-40ක් වේ. කෙසේ වෙතත්, කොළඹ සිට ගාල්ල දක්වා, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-55ක් දක්වා වැඩි විය හැකිය. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයෙන් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයන් අපේක්ෂා කළ හැක.

What's your reaction?

Related Posts

1 of 893

Leave A Reply

Your email address will not be published. Required fields are marked *