නැගෙනහිර පළාතේ මහවැලි අධිකාරිය යටතේ පවතින දිවුලපතාන ග්‍රාමයේ පදිංචි සිංහල වැසියන් ඉවත් කිරීමට පෙර, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා දී තිබේ. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම්දීම සිදු කළේය.අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයා සඳහන් කළේ, අදාළ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් නිවැරදිව හඳුනා ගැනීම මුලින්ම සිදුකරන බවයි. ඉන් අනතුරුව එම වැසියන් සඳහා විකල්ප ඉඩම් ලබාදීම හෝ සාධාරණ වන්දි මුදලක් ගෙවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවද මෙහිදී අනාවරණය විය.පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ගම්වැසියන්ට දැනට පදිංචි ස්ථානවලම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසයි. බලහත්කාරයෙන් ඉවත් කිරීම් සිදු නොකර පිළිගත හැකි සහනදායී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.දෙපාර්ශවයේම එකඟතාවය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම් විභාගය අවසන් කිරීමට තීරණය කළේය. කෙසේ වෙතත්, නීතිපතිවරයා පොරොන්දු වූ පරිදි සාධාරණ පරීක්ෂණයක් හෝ සහන හිමි නොවන්නේ නම්, මෝසමක් මගින් මෙම නඩුව යළි කැඳවීමට පෙත්සම්කරුවන්ට පූර්ණ අයිතිය පවතින බව විනිසුරු මඩුල්ල මෙහිදී පෙන්වා දුන්නේය.


























