දීපාවලියට විශේෂ බස් සේවාවක්! – වැඩිම ඉල්ලුමක් ඇති මාර්ගවල උපරිම ධාරිතාව

එළැඹෙන දීර්ඝ සති අන්තය සහ ඔක්තෝබර් 20 වැනිදාට යෙදී ඇති දීපාවලී උත්සවය නිමිත්තෙන් විශේෂ බස් රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) කටයුතු යොදා තිබේ.​මෙම නිවාඩු කාලය තුළ හැටන්, වැලිමඩ, බදුල්ල, පස්සර, වව්නියාව, සහ යාපනය යන ගමනාන්ත සඳහා මගී ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, මාර්ග බලපත්‍ර ලබා දී ඇති පෞද්ගලික බස් රථ උපරිම ධාරිතාවයකින් යුතුව ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව කොමිෂන් සභාව පවසයි.​ඊට අමතරව, බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ බලපත්‍රලාභී බස් රථ ද මෙම වැඩිවන මගී ඉල්ලුම සපුරාලීම සඳහා යොදා ගැනීමට නියමිතය. මෙම බස් රථ සඳහා අවශ්‍ය තාවකාලික අවසර පත්‍ර නිකුත් කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බැස්ටියන් මාවතේ පිහිටි කාර්යාලයෙන් සිදු කෙරේ. මේ සඳහා සාමාන්‍ය දිනවලට වඩා වැඩි නිලධාරි සංඛ්‍යාවක් සේවයේ යොදවා තිබේ.​මෙම නිවාඩු කාලයෙන් පසු නැවත කොළඹ දක්වා පැමිණෙන මගීන්ට පහසුවෙන් ගමන් පහසුකම් සැලසීම සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ අනුව, වැඩි මගී ඉල්ලුමක් පැවති ප්‍රදේශවලට අයත් වන පළාත් ප්‍රවාහන අධිකාරි වෙත තාවකාලික අවසර පත්‍ර යටතේ අතිරේක බස් රථ ධාවනයට යොදවන ලෙස උපදෙස් ලබා දී තිබේ. මේ සඳහා අවශ්‍ය අවසර පත්‍ර දැනටමත් පළාත් ප්‍රවාහන අධිකාරි වෙත යවා ඇති බව කොමිෂන් සභාව සඳහන් කරයි.​තවද, මෙම දීර්ඝ සති අන්තයෙන් පසු කොළඹට පැමිණෙන මගී ඉල්ලුම ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති බස් නැවතුම්පොළවල් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ද යෙදවීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *