කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ප්‍රදර්ශනය කෙරෙන ඉන්දියාවෙන් වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීම සඳහා අද (පෙබරවාරි 10) රාත්‍රී 10.00 න් පසුව පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස හුනුපිටිය ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි නායක හිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති. දිනකට ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දිය හැක්කේ සීමිත පිරිසකට පමණක් බවත්, ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාවක් නොමැති බවත් උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළහ.වැඩිදුරටත් අදහස් දැක්වූ අස්සජි නායක හිමියන් සඳහන් කළේ, සර්වඥ ධාතූන් වහන්සේලා යළි ඉන්දියාව බලා වැඩම කරවීම සඳහා ඉන්දීය දූත පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බවයි. එබැවින්, අද රාත්‍රී 10.00 වන විට පෝලිම්වල රැඳී සිටීම නතර කළහොත්, ඒ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැතිමතුන්ට ප්‍රදර්ශනයේ අවසන් දිනය වන හෙට දිනයේදී සහනදායී ලෙස ධාතූන් වහන්සේලා වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දිය හැකි බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.


























