බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයට පත් කිරීමට ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 09 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේ ය.
එම පෙත්සම් මැයි 06, 07 සහ 08 දිනවල විභාග කෙරෙනු ඇති.
ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවූවේ ය.
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.
සිය සේවාදායකයා පොලිස්පති ධුරයේ රාජකාරි ඉටු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත්අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇතැයි නීතිඥවරයා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, පෙත්සම විභාගයට ගැනීමට කඩිනමින් දින ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.
කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල අදාල පෙත්සම් මැයි මස 06, 07 සහ 08 යන දිනවල විභාගයට ගැනීමට දින නියම කළේ ය.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් මෙලෙස ගොනුකර ඇති පෙත්සම් සංඛ්‍යාව 9 කි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ නීතියට පටහැනි බව පෙත්සම්වල සඳහන් ය.