නත්තල යනු හුදෙක් මුදල් ඉපයීම අරමුණු කරගත් වෙළෙඳ උත්සවයක් නොවන බවත්, වාණිජ පරමාර්ථයන් මත එහි සැබෑ අර්ථය යටපත් කිරීමට වෙළෙඳ ආර්ථිකය උත්සාහ කරන බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අවධාරණය කරති. උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථානයේ පැවැති ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ, නත්තල යනු කුමක්දැයි සෑම දෙනාම නිවැරදිව තේරුම් ගත යුතු කාලය එළඹ ඇති බවයි.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය තුළින් ලොවට කියා දුන් මූලිකම දහම ‘අතහැරීම’ බව පෙන්වා දුන් කාදිනල් හිමිපාණන්, අතහැරීමක් නොමැති තැන ක්‍රිස්තු ධර්මයක් නොමැති බව ප්‍රකාශ කළහ. උන්වහන්සේ දිළිඳු දෙමාපියන් සහ ගව ලෙනක් තෝරා ගත්තේ ලෞකික සම්පත්වල හිරකරුවන් නොවී ජීවත් විය යුතු ආකාරය පෙන්වා දීමට බවත්, බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සියලු දුක්වලට මුල් වන තණ්හාව සමාජයෙන් තුරන් කළ යුතු බවත් උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.මෑතකදී රට තුළ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ, ස්වභාවධර්මය ආත්මාර්ථකාමී ලෙස පරිහරණය කිරීමේ විපාක අද අප විඳින බවයි. ඇතැම් පිරිස් දේශපාලන රැකවරණය ලබමින් පරිසරය දූෂණය කරන බවත්, ධනය රැස්කිරීමේ අධික කෑදරකම නිසා සමස්ත සමාජයම පීඩාවට පත්ව ඇති බවත් පෙන්වා දුන් උන්වහන්සේ, මියයන විට කිසිවක් රැගෙන යා නොහැකි බවත් සිහිපත් කළහ.නත්තල් ගස්, ගවලෙන් හෝ නත්තල් සීයා වැනි සංකේතවලට වඩා නත්තලක සැබෑ වටිනාකම රැඳී ඇත්තේ ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දුන් මාවතේ ගමන් කිරීම මත බව කාදිනල් හිමිපාණන් පැවසූහ. වෙළෙඳපොළ විසින් නිර්මාණය කර ඇති කෘතිම නත්තල් උත්සවයෙන් බැහැර වී, අනුන් ගැන සිතා ජීවත් වීමේ සහ සහෝදරත්වය බෙදාගැනීමේ සැබෑ කිතුනු දහම වැළඳගන්නා ලෙස උන්වහන්සේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.වර්තමාන ආර්ථික සහ ස්වභාවික අභියෝග හමුවේ ආත්මාර්ථකාමීත්වය පසෙකලා, පොදු යහපත වෙනුවෙන් කැපවීම නත්තලේ සැබෑ පණිවිඩය බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. සමාජය පිරිසිදු කිරීමට නම් තණ්හාව සහ කෑදරකම අතහැර, පරිසරයට සහ සෙසු මිනිසුන්ට ගරු කරන ජීවන රටාවකට හුරුවීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේ අවසාන වශයෙන් පෙන්වා දුන්හ.

























