ලොව පුරා කිතුණු ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය මහත් භක්තියෙන් හා ප්‍රීතියෙන් සමරන මෙම උතුම් නත්තල් දිනයේදී, ශ්‍රී ලාංකික අප මුහුණ දෙමින් සිටින්නේ ජාතික වශයෙන් තීරණාත්මක මොහොතකට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගියදා අප රට මුහුණ දුන් අතිශය දුෂ්කර ස්වභාවික ව්‍යසනය හමුවේ ඉන් පීඩාවට පත් ජනතාව නගා සිටුවීමට දරන අධිෂ්ඨානශීලී උත්සාහය මැද මෙවර නත්තල උදා වී ඇත. ආදරය, සාමය, ප්‍රීතිය, බෙදාහදා ගැනීම සහ කැපකිරීම නත්තලේ සැබෑ අරුත වන අතර, පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු මිනිසුන්ගේ නිදහස වෙනුවෙන් කැපවීම එහි මූලික හරය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.විපතට පත් අසල්වැසියා කෙරෙහි දයානුකම්පාවෙන් යුතුව අත්වැලක් වීම කිතු දහම ඇතුළු සියලු ආගම් මගින් උගන්වන උතුම් ගුණාංගයකි. මෑතකදී ඇති වූ ව්‍යසන තත්ත්වයේදී, අසීරු මාවත් ඔස්සේ ගොස් විපතට පත් වූවන්ට සහන සැලසීමට අපේ පුරවැසියන් ඉදිරිපත් වීම තුළින් “අසල්වැසියාට ප්‍රේම කිරීම” සහ “සහයෝගීතාවය” යන නත්තල් පණිවිඩයට ජීවමාන අරුතක් එක් කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කරයි. අඳුර දුරු කිරීමට ආලෝකය පැතිරවිය යුතු සේම, බෙත්ලෙහෙමේ නිහතමානී ගවහලක උපත ලබා, මිනිස් සංහතිය පාපයෙන් මුදාගැනීමට කුරුසිය මත ජීවිතය පූජා කළ ජේසුස් වහන්සේ, මරණය පරාජය කර උත්ථානය වූයේ අපරිමිත අධිෂ්ඨානය සහ ප්‍රඥාවේ මහිමය ලොවට කියාපාමිනි.එබැවින්, වර්තමානයේ අප මුහුණ දෙන වේදනාකාරී අභියෝගයන්ට ධෛර්යයෙන් සහ සමගියෙන් මුහුණ දෙමින්, ජාතියක් ලෙස එක්ව නැගී සිටින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ජනතාවට ඇරයුම් කර සිටියි. මෙම ආශීර්වාදලත් නත්තල දයානුකම්පාවෙන් අපේ මනුෂ්‍යත්වය අලුත් කරමින්, සෑම නිවසකටම සාමය, ප්‍රීතිය සහ බලාපොරොත්තුව රැගෙන එන සාමකාමී නත්තලක් වේවායි ජනාධිපතිවරයා සියලු දෙනාට ප්‍රාර්ථනා කරයි.

























