නයිජීරියාවේ ISIS ඉලක්ක වෙත ඇමරිකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්

නයිජීරියානු රජයේ ඉල්ලීම පරිදි එරට වයඹදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් අතිශය ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කරයි. වසර ගණනාවක සිට එම කලාපයේ වෙසෙන අහිංසක ක්‍රිස්තියානි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ම්ලේච්ඡ ඝාතන සැලකිල්ලට ගෙන, තම නියෝගය මත මෙම “මාරාන්තික” ප්‍රහාරය එල්ල කළ බව ජනාධිපති ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. අමරිකානු අප්‍රිකානු විධානය (AFRICOM) සඳහන් කළේ මෙම ප්‍රහාරය සොකෝටෝ (Sokoto) ප්‍රාන්තයේදී සිදුකළ බවත්, ඉන් ISIS සාමාජිකයින් රැසක් මියගොස් ඇති බවත්ය. පෙන්ටගනය විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ යුද නෞකාවක සිට අවම වශයෙන් එක් ප්‍රක්ෂේපණයක් හෝ එල්ල කරන ආකාරයයි.​නයිජීරියාවේ ක්‍රිස්තියානි ප්‍රජාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බවට ඔක්තෝබර් අග භාගයේ සිට ට්‍රම්ප් අනතුරු අඟවා තිබූ අතර, ප්‍රහාරයට පෙර නොවැම්බර් අග සිට ඇමරිකාව නයිජීරියාවට ඉහළින් ඔත්තු බැලීමේ ගුවන් ගමන් ද ක්‍රියාත්මක කර තිබුණි. කෙසේ වෙතත්, නයිජීරියානු රජය පවසන්නේ සන්නද්ධ කණ්ඩායම් විසින් මුස්ලිම් සහ ක්‍රිස්තියානි යන දෙපාර්ශවයම ඉලක්ක කරන බවත්, මෙය ආගමික පීඩා කිරීමකට වඩා සංකීර්ණ ආරක්ෂක තත්ත්වයක් බවත්ය. එසේ වුවද, ත්‍රස්තවාදී කණ්ඩායම් මැඩලීම සඳහා ඇමරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට නයිජීරියාව එකඟ වී ඇත. මේ අතර, නයිජීරියානු ජනාධිපති බෝලා අහමඩ් ටිනුබු සිය නත්තල් පණිවිඩය හරහා රට තුළ සාමය සහ ආගමික නිදහස සුරැකීමට කැපවන බව අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 540

Leave A Reply

Your email address will not be published. Required fields are marked *