නැදුම්ගමුවේ රාජා යළිත් දෑස මානයට: සජීවී අනුරුව ජාතික කෞතුකාගාරයේදී විවෘත වෙයි!

​ශ්‍රී දළදා සමිඳුන්ගේ දන්ත ධාතූන් වහන්සේ වසර ගණනාවක් පුරා මහත් ගෞරවයෙන් වැඩමවූ හස්ති රාජයා, නැදුම්ගමුවේ රාජා ඇතාගේ සජීවී ප්‍රමාණයේ අනුරුවක් ප්‍රතිනිර්මාණය කර අද (10) දින ජනතා අයිතියට පත් කෙරිණි. කොළඹ ජාතික කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැති මෙම සුවිශේෂී උත්සවය සඳහා බුද්ධශාසන හා සංස්කෘතික අමාත්‍ය ආචාර්ය සුනිල් සෙනෙවි මහතා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.​මෙම අනුරුව නිර්මාණය කිරීමේදී නැදුම්ගමුවේ ඇතා මියගිය පසු සංරක්ෂණය කරන ලද සැබෑ සම සහ දළ යුගළ භාවිතා කර තිබීම විශේෂත්වයකි. ඇතාගේ සජීවී පෙනුම සහ ප්‍රමාණය ඒ අයුරින්ම රැකෙන පරිදි නවීන තාක්ෂණය හා කලාත්මක නිපුණතාවය උපයෝගී කර ගනිමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් විසින් මෙම ප්‍රතිනිර්මාණය සිදු කර ඇත.​මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දශකයකට අධික කාලයක් සධාතුක කරඬුව වැඩමවූ මෙම හස්ති රාජයා කෙරෙහි බොහොමයක් බැතිමතුන් තුළ පවතින්නේ නොමඳ භක්තියකි. ඇතාගේ අභාවයෙන් පසු එම මතකය මතු පරපුර උදෙසා සුරක්ෂිත කර තැබීමේ අරමුණින් රජය සහ කෞතුකාගාර බලධාරීන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.​අද දින විවෘත කරන ලද මෙම සජීවී අනුරුව හෙට (11) සිට මහජනතාව සඳහා ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. කොළඹ ජාතික කෞතුකාගාරය වෙත පැමිණෙන ඕනෑම අයෙකුට නැදුම්ගමුවේ රාජා ඇතාගේ අභිමානවත් රුව සමීපව දැක බලා ගැනීමට මෙහිදී අවස්ථාව සැලසේ.

What's your reaction?

Related Posts

1 of 1,043

Leave A Reply

Your email address will not be published. Required fields are marked *